1. 5. 6.
මහා ධම්ම සමාදාන සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුහු විසින් කරවනලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළහ.
2. “මහණෙනි, බොහෝ සෙයින්ම සත්වයෝ, ‘අපට අයහපත් වූ, සිත් නොඅලවන්නාවූ, අමනාපවූ ධර්මයෝ පිරිහෙන්නාහු නම්, යහපත්වූ, සිත් අලවන්නාවූ, මනාපවූ ධර්මයෝ විශේෂයෙන් වැඩෙන්නාහු නම් හොඳය, යන කැමැත්ත ඇත්තෝය, ඡන්දය ඇත්තෝය. අදහස ඇත්තෝය, මහණෙනි, මෙසේ කැමැත්තාවූ, මෙබඳු අදහස් ඇත්තාවූ මෙබඳු බලාපොරොත්තු ඇත්තාවූ ඒ සත්වයන්හට අයහපත්වූ, සිත් නොඅලවන්නාවූ, අමනාපවූ ධර්මයෝම වැඩෙති. යහපත්වූ, සිත් අලවන්නාවූ, මනාපවූ ධර්මයෝ පිරිහෙති. මහණෙනි, මීට හේතුව කුමකැයි තොප සිතන්නහුද?” “ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහුය. භාග්යවතුන් වහන්සේ ගෙන් පහළ වන්නාහ. භාග්යවතුන් වහන්සේ පිහිට කොට ඇත්තාහුය ස්වාමීනි, මේ කීමෙහි අර්ථය, භාග්යවතුන් වහන්සේටම වැටහේවා, භාග්යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහුය”යි (කීවාහුය.) “මහණෙනි, එසේ වීනම් අසව්, මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි.” “එසේය, ස්වාමීනි”යි ඒ භික්ෂූහු, භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළහ.
3. “මහණෙනි, මේ ලෝකයෙහි ආර්ය්යයන් (බුද්ධාදී උත්තමයන්) නුවණැසින් නුදුටුවාවූ, ආර්ය්ය ධර්මයෙහි අදක්ෂවූ, ආර්ය්ය ධර්මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නුදුටුවාවූ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ, නූගත් පෘථග්ජනතෙම සේවනය කටයුතු ධර්මයන් නොදනියි. සේවනය නොකටයුතු ධර්මයන් නොදනී. භජනය කටයුතු ධර්මයන් නොදනියි, භජනය නොකටයුතු ධර්මයන් නොදනියි, සේවනය කළයුතු ධර්මයන් නොදන්නාවූ, සේවනය නොකළ යුතු ධර්මයන් නොදන්නාවූ, භජනය කටයුතු ධර්මයන් නොදන්නාවූ, භජනය නොකටයුතු ධර්මයන් නොදන්නාවූ, හෙතෙම සේවනය නොකටයුතු ධර්මයන් සේවනය කරයි, සේවනය කටයුතු ධර්මයන් සේවනය නොකරයි, භජනය නොකටයුතු ධර්මයන් භජනය කරයි, භජනය කටයුතු ධර්මයන් භජනය නොකරයි, සේවනය නොකටයුතු ධර්මයන් සේවනය කරන්නාවූ සේවනය කටයුතු ධර්මයන් සේවනය නොකරන්නාවූ භජනය නොකටයුතු ධර්මයන් භජනය කරන්නාවූ, භජනය කටයුතු ධර්මයන් භජනය නොකරන්නාවූ, ඔහුට අයහපත්වූ, සිත් නොඅලවන්නාවූ, අමනාපවූ ධර්මයෝ වැඩෙති. යහපත්වූ, සිත් අලවන්නාවූ මනාපවූ ධර්මයෝ පිරිහෙති. ඊට හේතු කවරේද? මහණෙනි, අඥානයෙකුට වියයුතු පරිද්දෙන්ම එය එසේ වීමය.
4. “මහණෙනි, බුද්ධාදී ආර්ය්යයන් දක්නාවූ, ආර්ය්ය ධර්මයෙහි මනාව හික්මුනාවූ, සත්පුරුෂයන් දක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි මනාව හික්මුනාවූ, උගත් ආර්ය්ය ශ්රාවකතෙම, සේවනය කටයුතු ධර්මයන් දනියි. සේවනය නොකටයුතු ධර්මයන් දනියි, භජනය කළයුතු ධර්මයන් දනියි, භජනය නොකළයුතු ධර්මයන් දනියි, සේවනය කටයුතු ධර්මයන් දන්නාවූ, සේවනය නොකටයුතු ධර්මයන් දන්නාවූ, භජනය කටයුතු ධර්මයන් දන්නාවූ, භජනය නොකටයුතු ධර්මයන් දන්නාවූ, ඒ ආර්ය්ය ශ්රාවක තෙම සේවනය නොකටයුතු ධර්මයන් සේවනය නොකරයි. සේවනය කටයුතු ධර්මයන් සෙවනය කරයි. භජනය නොකටයුතු ධර්මයන් භජනය නොකරයි, භජනය කටයුතු ධර්මයන් භජනය කරයි, සේවනය නොකටයුතු ධර්මයන් සේවනය නොකරන්නාවූ, සේවනය කටයුතු ධර්මයන් සෙවණය කරන්නාවූ, භජනය කටයුතු ධර්මයන් භජනය කරන්නාවූ, භජනය නොකටයුතු ධර්මයන් භජනය නොකරන්නාවූ, ඔහුට අයහපත්වූ සිත් නොඅලවන්නාවූ, අමනාපවූ ධර්මයෝ පිරිහෙත්. යහපත්වූ, සිත් අලවන්නාවූ මනාපවූ ධර්මයෝ විශේෂයෙන් වැඩෙත්. ඊට හේතු කවරේද? මහණෙනි, නුවණැත්තෙකුට සිදු විය යුතු පරිද්දෙන්ම එය එසේ වීමය.
5. “මහණෙනි, ධර්ම සමාදානයෝ මේ සතර දෙනෙක් වෙත්. කවර සතරදෙනෙක්ද යත්:
මහණෙනි, වර්තමානයෙහිත් දුක්වූද, අනාගතයෙහිත් දුක් විපාක දෙන්නාවූද, ධර්ම සමාදානයෙක් ඇත. මහණෙනි, වර්තමානයෙහි සැපවූ මත්තෙහි දුක් විපාක දෙන්නාවූ, ධර්ම සමාදානයෙක් ඇත්තේය. මහණෙනි වර්තමානයෙහි දුක්වූ, මත්තෙහි සැප විපාක දෙන්නාවූ, ධර්ම සමාදානයෙක් ඇත. මහණෙනි, වර්තමානයෙහි සැපවූද, මත්තෙහි සැප විපාක දෙන්නාවූද, ධර්ම සමාදානයෙක් ඇත.
6. “මහණෙනි, ඒ ධර්ම සමාදානයන් අතුරෙහි වර්තමානයෙහි දුක්වූද, මත්තෙහි දුක් විපාක දෙන්නාවූද, යම් මේ ධර්ම සමාදානයක් වේද, ඒ ධර්ම සමාදානය අඥානවූ, අවිද්යාවෙන් යුක්තවූ, පුද්ගලතෙම, ‘මේ ධර්ම සමාදානය වනාහි, මට දැනුත් දුක්වූද, මත්තෙහිත් දුක් දෙන්නාවූද, එකකැ’යි ඇති සැටියෙන් නොදනියි. අඥානවූ, අවිද්යාවෙන් යුක්තවූ පුද්ගලතෙම ඒ ධර්ම සමාදානය ඇති සැටියෙන් නොදන්නේ, ඒ ධර්මය සෙවනය කරයි. ඒ ධර්මය බැහැර නොකරයි. ඒ ධර්මය සෙවනය කරන්නාවූ, ඒ ධර්මය නොහරින්නාවූ, ඔහුට අයහපත්වූ, සිත් නොඅලවන්නාවූ අමනාපවූ ධර්මයෝ වැඩෙත්. යහපත්වූ, සිත් අලවන්නාවූ මනාපවූ, ධර්මයෝ පිරිහෙත්. ඊටහේතු කවරේද? මහණෙනි, නුවණ නැත්තෙකුට වියයුතු පරිද්දෙන්ම ඒ එසේ වීමය.
7. “මහණෙනි, ඒ ධර්ම සමාදානයන් අතරෙහි වර්තමානයෙහි සැපවූද, මත්තෙහි දුක් විපාකවූද, යම් මේ ධර්ම සමාදානයක් වේද, එය අඥානවූ අවිද්යාවෙන් යුත් පුද්ගලතෙම ‘මේ ධර්ම සමාදානය මට වර්තමානයෙහි සැපද, මත්තෙහි දුක් විපාකද දෙන්නේය’යි ඇති සැටියෙන් නොදනියි. අඥානවූ, අවිද්යාවෙන් යුක්තවූ පුද්ගලතෙම එය ඇති සැටියෙන් නොදන්නේ, ඒ ධර්මය සෙවනය කරයි. ඒ ධර්මය නොහරියි. ඒ ධර්මය සෙවනය කරන්නාවූ ඒ ධර්මය අත් නොහරින්නාවූ ඔහුට යහපත්වූ සිත් නොඅලවන්නාවූ අමනාපවූ ධර්මයෝ වැඩෙත්. යහපත්වූ, සිත් අලවන්නාවූ මනාපවූ ධර්මයෝ පිරිහෙත්. ඊට හේතු කවරේද? මහණෙනි, නුවණ නැත්තෙකුට වියයුතු පරිද්දෙන්ම ඒ එසේ වීමයි.