1. 5. 5.
චූල ධම්ම සමාදාන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුහු විසින් කරවන ලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
2. මහණෙනි, මේ ධර්ම සමාදාන සතරක් වෙත්. කවර සතරක්ද යත්?
මහණෙනි, දැන් (මේ ජාතියෙහි) සැප ඇති, මත්තෙහි (මතු ජාතියෙහි) දුක්විපාක ඇති ධර්ම සමාදානයක් ඇත. මහණෙනි, දැනුත් දුක්වූ, මත්තෙහිත් දුක්විපාක ඇති ධර්ම සමාදානයක් ඇත. මහණෙනි, දැන් දුක්වූ, මත්තෙහි සැප විපාක ඇති ධර්ම සමාදානයක් ඇත. මහණෙනි, දැනුත් සැපවූ, මත්තෙහිත් සැප විපාක ඇති ධර්ම සමාදානයක් ඇත.
3. මහණෙනි, මේ ජාතියෙහි සැපවූ, පරලොව දුක් විපාකඇති ධර්ම සමාදානය කවරේද?
සන්ති මහණෙනි, කාමයන්හි දෝෂයක් නැතැයි කියන්නාවූ, දෝෂයක් නැත යන දෘෂ්ටි ඇත්තාවූ, ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔවුහු කැමතිසේ කාම සම්පත් අනුභව කරති. ඔව්හු වනාහි හිස මුදුනේ බැඳි කොණ්ඩා ඇති පරිබ්‍රාජක ගැහැණුන් සමග හැසිරෙත්, ඔවුහු මෙසේ කියති. ‘ඒ පින්වත් මහණ බමුණෝ කාමයන්හි මත්තෙහි කවර නම් භයක් දකිමින් කාමසම්පත් අත්හරින්නට කියත්ද? තරුණවූ මෘදුවූ, ලොම් ඇති මේ පරිබ්‍රාජිකාවගේ අතෙහි ස්පර්ශය සැපය’යි කියමින් ඔවුහු කැමතිසේ කාම සම්පත් අනුභව කරති. ඔවුහු කැමතිසේ කම්සැප විඳ ශරීරය බිඳීමෙන් මරණයෙන් මතු සැපයක් නැති දුක් ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපදිති, ඔවුහු එහි දුක්වූ තියුණුවූ කටුකවූ, වේදනා විඳිති. ඔවුහු මෙසේ කියති. ‘ඒ පින්වත් මහණ බමුණෝ වනාහි කාමයන්හි, මතු ඇතිවන මේ භය දැක කාමසම්පත් අත්හරින්නට කියති. අපි වනාහී කාමයන් හේතු කොට ගෙන කාමයන් මුල් කොට ගෙන දුක්වූ තියුණුවූ, කටුකවූ, මේ වේදනාවන් විඳිමු’යි.
මහණෙනි, ග්‍රීෂ්ම ඍතුවේ අන්තිම මාසයෙහි මාලුවා කරලක් පැසී පුපුරන්නේය. මහණෙනි, ඉක්බිති ඒ මාලුවා ඇටය එක්තරා සල් රුකක් මුල වැටෙන්නේය. මහණෙනි, එකල්හි ඒ සල්ගසෙහි යම් දෙවියෙක් වාසය කරන්නේද ඒ දෙවිතෙම භයට පත්ව, සංවේගයට පැමිණ, තැති ගැනීමට පැමිණෙන්නේය. මහණෙනි, ඉක්බිති, ඒ සල් ගසෙහි වසන දෙවියාගේ මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද ආරාමවල වසන දෙවියෝද, වන දෙවියෝද, රුක් දෙවියෝද, ඖෂධ වෘක්ෂ වලද, තෘණ වෘක්ෂ වලද, වනස්පති වෘක්ෂ වලද වාසය කරන්නාවූ දෙවියෝද එක්ව රැස්ව, මෙසේ, අස්වසන්නාහුය:
‘පින්වත, භය නොවෙව, පින්වත, භය නොවෙව, ඒ මාලුවා ඇටය මොනරෙක් හෝ ගිලිනවා ඇත, මූවෙක් හෝ කනවා ඇත, ලැව් ගින්නකින් හෝ දැවෙනවා ඇත, වනයෙහි වැඩ කරන්නෙක් හෝ උදුරා දමනවා ඇත, වේයන් හෝ කනවා ඇත, බොල් වන්නට හෝ පුළුවන’යි. මහණෙනි, ඉක්බිති, ඒ මාලුවා ඇටය, මොනරෙක් හෝ නොගිලියි. මුවෙක් හෝ නොකයි. ලැව් ගින්නක් හෝ නොදවයි, වනයෙහි වැඩ කරන්නෙක් හෝ උදුරා නොදමයි. වේයෝ හෝ නොකන්නාහුය, සාරවත් බීජයක්ම වන්නේය. ඒ වනාහි මහ වැස්සෙන් තෙමී පැලවී මනාව වැඩෙන්නේය. ඒ මාලුවා වැල ලපටිවූවා, මෘදුවූවා, බූව සහිතවූවා, ලෙලදෙන්නී වෙයි. ඒ වැල ඒ සල්ගස වැලඳ ගන්නීය.
මහණෙනි, ඉක්බිති, ඒ සල්ගසෙහි වසන දේවතාවාට මෙසේ කල්පනා වෙයි. ‘ඒ පින්වත් මිත්‍රයෝද, නෑ සහ ලේ නෑයෝද, ආරාම දෙවතාවෝද වන දෙවියෝද, ඖෂධ, තෘණ, වනස්පතී වෘක්ෂවල වසන දෙවියෝද, එක්ව රැස්ව, ‘පින්වත, භය නොවෙව. පින්වත, භය නොවෙව. ඒ මාලුවා ඇටය මොණරෙක් හෝ ගිලිනවා ඇත, මුවෙක් හෝ කනවා ඇත. ලැව් ගින්නකින් හෝ දැවෙනවා ඇත. වනයෙහි වැඩ කරන්නෙක් හෝ උගුල්ලා දමනවා ඇත. වේයන් හෝ කනවා ඇත. බොල් වන්නට හෝ පුළුවන’ කියමින් ඒ මාලුවා ඇටයෙන් මතු ඇති වන කිනම් භයක් දැක මා අස්වැසුවාහුද? තරුණවූ, මෘදුවූ, බූව සහිතවූ, ලෙලදෙන්නාවූ, මේ මාලුවා වැලෙහි, ස්පර්ශය සැපයයි ඒ වැල ඒ සල්ගස වැලඳගන්නීය. වැළඳගෙන සල්ගස මත්තෙහි කුඩයක් මෙන් සිටින්නීය. හෙවත් අතු මත්තෙහි පැතිර ඇටුවම් බස් වන්නේය. ඇටුවම් බැස, ඒ සල් ගසෙහි යම් කලෙක ලොකු අතු වෙයිනම් ඒවා පලන්නීය. මහණෙනි, එවිට සල් ගසෙහි වසන දෙවියාට මෙබඳු කල්පනාවක් වෙයි. ‘ඒ පින්වත් මිත්‍රයෝද නෑ සහලේ නෑයෝද, ආරාම දෙවතාවෝද, ඖෂධ, තෘණ, වනස්පතී වෘක්ෂවල වසන දෙවියෝද ඒ මාලුවා පැලයෙන් මතු ඇති වන භය දක්නාහු එක්ව රැස්ව ‘පින්වත, භය නොවෙව, පින්වත, භය නොවෙව, ඒ මාලුවා ඇටය මොණරෙක් හෝ ගිලිනවා ඇත, මුවෙක් හෝ කනවා ඇත, ලැව් ගින්නකින් හෝ දැවෙනවා ඇත, වේයන් හෝ කනවා ඇත. බොල් හෝ වන්නට පුළුවන’ කියමින් මා අස්වැසූහ. මම වනාහි ඒ මාලුවා ඇටය හේතු කොට ගෙන දුක් වූ, නපුරු වූ, කටුක වූ වේදනා විඳිමි.’
මහණෙනි, එපරිද්දෙන්ම, කාමයන්හි දෝෂයක් නැතැයි කියන්නාවූ, දෝෂයක් නැත යන දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ, ඔවුහු කැමතිසේ කාම සම්පත් අනුභව කරති. ඔවුහු හිස මුදුනේ බැඳි කොණ්ඩා ඇති පරිබ්‍රාජක ස්ත්‍රීන් සමග හැසිරෙති. ඔවුහු මෙසේ කියති: