1. 5. 4.
චූල වෙදල්ල සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම්වූ, වේලුවනාරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි, විසාඛනම් උපාසක තෙම ධම්ම දින්නා නම් මෙහෙණිය යම් තැනෙක්හිද, එතැනට ගියේය. ගොස් ධම්මදින්නා මෙහෙණියට වැඳ එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූ විසාඛ උපාසක තෙම ධම්මදින්නා මෙහෙණියට මෙසේ කීයේය.
1. “ආර්‍ය්‍යාවෙනි, සක්කාය සක්කාය යයි කියනු ලැබේ. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කවරක් වනාහි සක්කායයයි වදාරණ ලදද?”
“ඇවැත්නි, විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උපාදානස්කන්ධ පස සක්කායයයි වදාරණ ලදී. කවරහුද? රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය, යන පසයි. ඇවැත්නි, විසාඛයෙනි, මේ පඤ්චවිධ උපාදානස්කන්ධයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සක්කායයි වදාරණ ලදහ.”
2. “ආර්‍ය්‍යාවෙනි, යහපතැයි” විසාඛ උපාසක තෙම ධම්ම දින්නා නම් භික්ෂුණියගේ වචනයට සතුටුවී එය පිළිගෙන ධම්ම දින්නා භික්ෂුණියගෙන් ඊළඟ ප්‍රශ්නය විචාළේය. “ආර්‍ය්‍යාවෙනි සක්කාය සමුදය සක්කාය සමුදය (සක්කාය දෘෂ්ටිය පහළ වීමට හේතුව) යයි කියනු ලැබේ. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කවරක් නම් සක්කාය සමුදයයයි වදාරණ ලදද?”
“ඇවැත් විසාඛයෙනි, නැවත ඉපදීම ඇති කරන්නාවූ, නන්දිරාගය හා එක්ව පැවැත්තාවූ, ඒ ඒ රූපාදි අරමුණෙහි, සතුටු වන්නාවූ, යම් මේ තෘෂ්ණාවක් වේද, එනම්:- (කාම වස්තු විෂයෙහි පැවැති) කාමතෘෂ්ණාවය, (ශාශ්වත දෘෂ්ටි සහගත) භවතෘෂ්ණාවය, (උච්ඡෙද දෘෂ්ටි සහගත) විභව තෘෂ්ණාවය, යන තෘෂ්ණාවයි. ඇවැත්නි, විසාඛයෙනි, මේ තෘෂ්ණාව වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් සක්කාය සමුදයයයි වදාරණ ලදී.”
3. “ආර්‍ය්‍යාවෙනි, සක්කාය නිරෝධය සක්කාය නිරෝධය (සක්කාය දෘෂ්ටිය නැතිකිරීම) යයි කියනු ලැබේ. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලද, සක්කාය නිරෝධය කවරේද?”
“ඇවැත් විසාඛයෙනි, ඒ පළමු දැක්වූ තෘෂ්ණාවගේම ඉතිරි නොකර නැති කිරීමක් වේද, බැහැර කිරීමක් වේද’ දුරලීමක් වේද, මිදීමක් වේද, නොඇල්මක් වේද ඇවැත් විසාඛායෙනි, මෙය වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් සක්කාය නිරෝධයයයි වදාරණ ලද්දේය.”
4. “ආර්‍ය්‍යාවෙනි, සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව, සක්කාය නිරෝධය ගාමිනී ප්‍රතිපදාවයයි (සක්කාය දෘෂ්ටිය නැති කිරීමේ මග) කියනු ලැබේ. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කවරක් සක්කාය නිරෝධ ගාමිනි ප්‍රතිපදාව යයි, වදාරණ ලදද?”
“ඇවැත්නි විසාඛයෙනි, මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම භාග්‍යවතුන් වහන්සේ විසින් සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයයි වදාරණ ලදී. එනම්:- නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මොහුයි.”
5. “ආර්‍ය්‍යාවෙනි, උපාදානයත් උපාදාන, ස්කන්ධ පසත් එකමද? නැතහොත් උපාදානය උපාදාන ස්කන්ධපසෙන් වෙනස්ද?”
“ඇවැත්නි, විසාඛයෙනි, උපාදානයත් උපාදාන ස්කන්ධ පසත් එකම නොවේ. උපාදාන ස්කන්ධ පස හැර උපාදානයක්ද නැත. ඇවැත්නි, විසාඛයෙනි, උපාදාන ස්කන්ධ පස කෙරෙහි යම් ඇලීමක් වේ නම් එය එහි උපාදානයයි”
6. “ආර්‍ය්‍යාවෙනි, කෙසේ නම් සක්කාය දෘෂ්ටිය වේද?
“ඇවැත්නි, විසාඛයෙනි, මේ ලෝකයෙහි බුද්ධාදි ආර්‍ය්‍යයන් නොදැක්කාවූ, ආර්‍ය්‍යධර්මයෙහි අදක්ෂවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනාවූ, බුද්ධාදී සත්පුරුෂයන් නුදුටුවාවූ, සත්පුරුෂ ධර්මයෙහි, අදක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ නූගත් පෘථග්ජනතෙම රූපය තමා වශයෙන් හෝ දකියි තමා රූප සහිත යයි කියා හෝ දකියි. තමා කෙරෙහි රූපය ඇතැයි හෝ දකියි. රූපය තමා කෙරෙහි පිහිටියේයයි හෝ දකියි. වේදනාව තමා වශයෙන් හෝ දකියි තමා වේදනාව සහිතය කියා හෝ දකියි තමා කෙරෙහි වේදනාව පිහිටියේයයි හෝ දකියි. වේදනාවෙහි තමා පිහිටියේයයි හෝ දකියි. සංඥාව තමා වශයෙන් හෝ දකියි. තමා සංඥා සහිතය කියා හෝ දකියි. තමා කෙරෙහි සංඥාව පිහිටියේයයි කියා හෝ දකියි. සංඥාවෙහි තමා පිහිටියේයයි හෝ දකියි. සංස්කාරයන් තමා වශයෙන් හෝ දකියි. තමා සංස්කාර සහිතය කියා හෝ දකියි. තමා කෙරෙහි සංස්කාරයන් පිහිටියේයයි කියා හෝ දකියි. සංස්කාරයන් කෙරෙහි තමා පිහිටියේයයි හෝ දකියි. විඥානය තමා වශයෙන් දකියි. තමා විඥානය සහිතය කියා හෝ දකියි. තමා කෙරෙහි විඥානය පිහිටියේයයි හෝ දකියි. විඥානයෙහි තමා පිහිටියේයයි හෝ දකියි. විසාඛය, මෙසේ වනාහි සක්කාය දෘෂ්ටිය වෙයි.”
7. “ආර්‍ය්‍යාවෙනි, කෙසේ නම් සක්කාය දෘෂ්ටිය නොවේද?”
“ඇවැත්නි, විසාඛයෙනි, බුද්ධාදී ආර්‍ය්‍යයන් නුවණැසින් දුටුවාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි මනාව හික්මුනාවූ බුද්ධාදී සත්පුරුෂයන් දුටුවාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ උගත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම රූපය තමා වශයෙන් නොදකියි. තමා රූපය සහිතයයි කියා හෝ නොදකියි. තමා කෙරෙහි රූපය ඇතැයි හෝ නොදකියි. රූපයෙහි තමා පිහිටියේයයි හෝ නොදකියි. වේදනාව තමා වශයෙන් හෝ නොදකියි. තමා වේදනාව සහිතයයි හෝ නොදකියි තමාකෙරෙහි වේදනාව පිහිටියේයයි හෝ නොදකියි. වේදනාවෙහි තමා පිහිටියේයයි හෝ නොදකියි. සංඥාව තමා වශයෙන් නොදකියි. තමා සංඥාව සහිතයයි හෝ නොදකියි. තමා කෙරෙහි සංඥාව පිහිටියේයයි හෝ නොදකියි. සංඥාවෙහි තමා පිහිටියේයයි හෝ නොදකියි. සංස්කාරයන් ආත්ම වශයෙන් හෝ නොදකියි. තමා සංස්කාරය සහිතයයි හෝ නොදකියි. තමා කෙරෙහි සංස්කාරයන් පිහිටියේයයි හෝ නොදකියි. සංස්කාරයන්හි තමා පිහිටියේයයි හෝ නොදකියි. විඤ්ඤාණය තමා වශයෙන් හෝ නොදකියි. තමා විඤ්ඤාණය සහිතයයි හෝ නොදකියි. විඤ්ඤාණයෙහි තමා පිහිටියේයයි හෝ නොදකියි. ඇවැත් විසාඛයෙනි, මෙසේ සක්කාය දෘෂ්ටිය නොවේ.”