1. 5. 1.
සාලෙය්‍යක සූත්‍රය
439. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහා භික්ෂු සංඝයා සමග කෙසොල් ජනපදයෙහි හැසිරෙන සේක් කොසලයන්ගේ සාල නම් බමුණු ගම යම් තැනෙක්හිද එහි වැඩියහ.
සාල ගම්වැසිවූ බ්‍රාහ්මණ ගෘහපතියෝ ‘ශාක්‍ය පුත්‍රවූ, ශාක්‍ය වංශයෙන් පැවිදිවූ ශ්‍රමණ භවත් ගෞතමතෙමේ මහත් භික්ෂු සමූහයා කැටිව කොසොල් දනව්වෙහි හැසිරෙනසේක් සාල නම් ගමට පැමිණියහ’යි ඇසුවාහුය. ඒ භවත් ගෞතමයින්ගේ මෙබඳුවූ යහපත්වූ කීර්ති ශබ්දයක් උස්ව නැංගේ වෙයි: “ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්යහ, සම්‍යක් සම්බුද්ධයහ, අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තයහ, යහපත් ගති ඇත්තාහ. සියලු ලෝකයන් දන්නාහ. ශ්‍රේෂ්ඨයහ. හික්මවිය යුතු පුරුෂයන් හික්මවීමෙහි රියැදුරෙකු වැනියහ. දෙවි මිනිසුන්ට ශාස්තෘහ, චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයන් අවබෝධ කළහ. භාග්‍යවත්හ. ඒ තථාගතයන්වහන්සේ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ, සත්ව වර්ගයා තමන් උසස් ඤාණයෙන් දැන පැහැදිලිකොට ප්‍රකාශ කරන්නාහ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ අර්ථ සහිතවූ, බ්‍යංජන සහිතවූ, සියලු ලෙසින් සම්පූර්ණවූ, පිරිසිදුවූ ශාසන මාර්ග බ්‍රහ්මචරියාව ගෙන හැර දක්වති. එබඳුවූ රහතුන්ගේ දැකුම යහපත්ය” (කියායි).
ඉක්බිති සාලගම් වැසි බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක හුන්නාහුය. ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එක පැත්තක උන්නාහුය. ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ සිටින දිශාවට ඇඳිලි බැඳ වැඳ එක පැත්තක උන්නාහුය. ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි (තමන්ගේ) නාම ගොත්‍ර කියා එක පැත්තක උන්නාහුය. ඇතැම්හු නිශ්ශබ්දවම එක පැත්තක උන්නාහුය. එක පැත්තක හුන්නාවූම, සාලගම් වාසීවූ බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාහුය:
“භවත් ගෞතමයාණෙනි, මේ ලෝකයෙහි ඇතැම් සත්ත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොරවූ, නපුරු ගති ඇති යටිකුරුව වැටෙන්නාවූ නරකයෙහි උපදිති. ඊට හේතුව කුමක්ද? ඊට ප්‍රත්‍යය කවරේද? භවත් ගෞතමයාණෙනි, මේ ලෝකයෙහි ඇතැම් සත්ත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි උපදිති. ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද?”
“ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් සත්ත්වයෝ අධාර්මික හැසිරීමයැයි කියන විෂම හැසිරීම හේතුකොටගෙන කය බිඳීමෙන් මරණින් මතු අපාය නම්වූ නපුරුගති ඇති නරකයෙහි උපදිත්. ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ධාර්මික හැසිරීම යැයි කියන සමචර්‍ය්‍යාව හේතුකොටගෙන ඇතැම් සත්ත්වයෝ කාය භෙදයෙන් මරණින් මතු සුගති නම්වූ දිව්‍ය ලෝකයෙහි උපදිත්.”
“අපි භවත් ගෞතමයින්ගේ සංක්ෂෙපයෙන් කියන ලද්දාවූ, විස්තර වශයෙන් අර්ථය නොබෙදන ලද්දාවූ, මේ ධර්මයෙහි විස්තර වසයෙන් අර්ථය නොදනිමු. යම්සේ අපි භවත් ගෞතමයින්ගේ කොටින් දේශනා කරන ලද්දාවූ, විස්තර වශයෙන් අර්ථය නොබෙදන ලද්දාවූ, මේ ධර්මය විස්තර වශයෙන් දැන ගන්නෙමුද, භවත් ගෞතමතෙම එසේ ධර්මය දේශනා කරන සේක්වා.” “ගෘහපතියෙනි, එසේවීනම් අසව්. මනාකොට සිත්හි තබා ගනිව්. කියන්නෙමි” “එසේය පින්වතුන් වහන්ස”යි සාලෙය්‍යක බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ:
440. “ගෘහපතියෙනි, තුන් පරිද්දෙකින් කයින් අධම පැවතුම් විෂම පැවතුම් වෙයි. වචනයෙන් සතර ආකාරයකින් අධර්ම පැවතුම් විෂම පැවතුම් වෙයි. සිතින් තුන් ආකාරයකින් අධර්ම පැවතුම් විෂම පැවතුම් වෙයි.
ගෘහපතියෙනි, කෙසේ කයින් තුන් ආකාරයකින් අධර්ම පැවතුම් විෂම පැවතුම් වේද? ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් රෞද්‍ර වූයේ, ලෙයින් තෙමුණු අත් ඇත්තේ, අන්‍යයන් පෙලීමෙහි, නැසීමෙහි යෙදුනේ, සත්ත්වයන් කෙරෙහි දයාවක් නැතිව ප්‍රාණඝාත කරන්නේ වෙයිද, සොරකම් කරන්නේ වෙයිද, ගමෙහිද, ආරණ්‍යයෙහිද, අන්සතු යමක් වේද, එය සොර සිතින් පැහැර ගන්නේ වෙයිද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වෙයිද, මව විසින් රක්නා ලද්දාවූද, පියා විසින් රක්නා ලද්දාවූද, මව් පියන් විසින් රක්නා ලද්දාවූද, සොහොයුරා විසින් රක්නා ලද්දාවූද, සොහොයුරිය විසින් රක්නා ලද්දාවූද, නෑයන් විසින් රක්නා ලද්දාවූද, ගොත්‍රයෙන් රකින ලද්දාවූද, කුල චාරිත්‍ර ධර්මයෙන් රකින ලද්දාවූද, හිමියන් සහිතවූද, දඬුවම් සහිතවූද, යටත්පිරිසෙයින් මල්දමක් දමනු ලැබුවාවූද, යම් ඒ ස්ත්‍රීහු වෙත්ද, එබඳු ස්ත්‍රීන් සමග හැසිරීමට පැමිණියේ වෙයිද, ගෘහපතියෙනි, මෙසේ වනාහි කයින් සිදුවන්නාවූ අධර්ම පැවතුම් විෂම පැවතුම් තුන් ආකාර වෙයි.
ගෘහපතියෙනි, කෙසේ නම් වචනයෙන් අධර්ම පැවතුම් විෂම පැවතුම් සතර ආකාර වෙයිද? ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් බොරු කියන්නේ වෙයිද, සභාවකට ගියේ හෝ පිරිසකට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ සමූහයා මැදට ගියේ හෝ රාජකුලයා මැදට ගියේ හෝ ‘පින්වත් පුරුෂය, මෙහි එව යමක් දන්නෙහි නම් එය කියව’යි ඉදිරියට පමුණුවන ලද්දේ සාක්ෂි අසන ලද්දේ නොදැන හෝ දනිමියි කියයි. දැන හෝ නොදනිමියි කියායි. දැක හෝ නුදුටුයෙමියි කියයි. නොදැක හෝ දුටුවෙමියි කියායි. මෙසේ තමා නිසා හෝ අන්‍යයන් නිසා හෝ කිසියම් ලාභයක් නිසා හෝ දැන දැන බොරු කියන්නේ වෙයි. කේලම් කියන්නේ වෙයි. මෙතැනින් අසා මොවුන් බිඳුවනු පිණිස අසුවල්තැන කියන්නේය. අසුවල් තැනින් හෝ අසා අසුවලුන් බිඳුවනු පිණිස මොවුන්ට කියන්නේය. මෙසේ සමගි වූවන් බිඳින්නේ හෝ වෙයි, බිඳුනවුන්හට අනුබල දෙන්නේ හෝ වෙයි. භෙදවීමෙහි ඇලුණේ, භෙද කිරීමෙහි සතුටු වන්නේ, භෙදකරන වචන කියන්නේ වෙයි, ඵරුෂ වචන කියන්නේ වෙයි. යම් ඒ වචනයක් ගැටීම් ගැරහීමාදීන් දෝෂ සහිතද, කුණු සැරව වෑහෙන්නාක් මෙන් අප්‍රියද, අන්‍යයන්ගේ සිත් නරක් කරන්නේද, අන්‍යයන්හට පහරක් වැනිද ක්‍රෝධයට කිට්ටුද, සමාධිය පිණිස නොපවතීද, එබඳු වචන කියන්නේ වෙයි. සම්ඵප්‍රලාප (හිස් වචන) කියන්නේ වෙයිද, නුසුදුසු කාලයෙහි කියන්නේද, නුවූවක් කියන්නේ වෙයිද, අනර්ථයක් කියන්නේ වෙයිද, අධර්මයක් කියන්නේ වෙයිද, අවිනයක් කියන්නේ වෙයිද, සිතෙහි තබා ගැනීමට නුසුදුසු වචන කියන්නේ වෙයිද, නුසුදුසු කාලයෙහි, නිදර්ශන දැක්වීම් ආදියක් නැතිව අගක් මුලක් නැති, අවැඩින් යුක්තවූ වචන කියන්නේ වෙයිද, ගෘහපතියෙනි, මෙසේ වචනයෙන් සතර ආකාරයකින් අධර්ම පැවතුම් විෂම පැවතුම් වෙයි.