1. 5. 2.
වෙරඤ්ජක සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කාලයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි වෙරඤ්ජා පුරවැසි බ්රාහ්මණ ගෘහපතියෝ කිසියම් කටයුත්තක් සඳහා සැවැත්නුවර වෙසෙත්.
2. වෙරංජක බ්රාහ්මණ ගෘහපතියෝ ‘ශාක්ය පුත්රවූ ශාක්ය වංශයෙන් පැවිදිවූ ශ්රමණ භවත් ගෞතම තෙම සැවැත් නුවර අනේපිඩු මහ සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසතියි ඇසුවාහුය. ඒ භවත් ගෞතමයින්ගේ මෙබඳුවූ යහපත්වූ කීර්ති ශබ්දයක් උස්ව නැංගේ වෙයි: ඒ භාග්යවතුන් වහන්සේ අර්හත්යහ, සම්යක් සම්බුද්ධයහ, අෂ්ට විද්යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තයහ, යහපත් ගති ඇත්තාහ. සියලු ලෝකයන් දන්නාහ. ශ්රේෂ්ඨයහ. හික්ම විය යුතු පුරුෂයන් හික්ම වීමෙහි රියැදුරෙකු වැනියහ. දෙවි මිනිසුන්ට ශාස්තෘහ, චතුරාර්ය්ය සත්ය ධර්මයන් අවබෝධ කළහ. භාග්යවත්හ. ඒ තථාගතයන්වහන්සේ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ, සත්ව වර්ගයා තමන් උසස් ඤාණයෙන් දැන පැහැදිලිකොට ප්රකාශ කරන්නාහ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ අර්ථ සහිතවූ, බ්යංජන සහිතවූ, සියලු ලෙසින් සම්පූර්ණවූ, පිරිසිදුවූ ශාසන මාර්ග බ්රහ්මචරියාව ගෙන හැර දක්වති. එබඳුවූ රහතුන්ගේ දැකුම් යහපත්ය”ති.
3. ඉක්බිති වෙරඤ්ජාවැසි බ්රාහ්මණ ගෘහපතියෝ භාග්යවතුන්වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ ඇතැම්හු භාග්යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක හුන්නාහුය. ඇතැම්හු භාග්යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එක පැත්තක උන්නාහුය. ඇතැම්හු භාග්යවතුන් වහන්සේ සිටින දිශාවට ඇඳිලි බැඳ වැඳ එක පැත්තක උන්නාහුය. ඇතැම්හු භාග්යවතුන් වහන්සේ සමීපයෙහි නාම ගොත්ර කියා එක පැත්තක උන්නාහුය. ඇතැම්හු නිශ්ශබ්දවම එක පැත්තක උන්නාහුය. එකපැත්තක හුන්නාවූම, වෙරඤ්ජක බ්රාහ්මණ ගෘහපතියෝ භාග්යවතුන් වහන්සේට මෙසේ කීවාහුය:
4. භවත් ගෞතමයාණෙනි, මේ ලෝකයෙහි ඇතැම් සත්ත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොරවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන්නාවූ නරකයෙහි උපදිති. ඊට හේතුව කුමක්ද? ඊට ප්රත්යය කවරේද? භවත් ගෞතමයාණෙනි, මේ ලෝකයෙහි ඇතැම් සත්ත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්ය ලෝකයෙහි උපදිති. ඊට හේතු කවරේද? ඊට ප්රත්යය කවරේද?
5. ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් සත්ත්වයෝ අධාර්මික හැසිරීමයැයි කියන විෂම හැසිරීම හේතුකොටගෙන කය බිඳීමෙන් මරණින් මතු අපාය නම්වූ නපුරුගති ඇති නරකයෙහි උපදිත්; ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ධාර්මික හැසිරීම යැයි කියන සමචර්ය්යාව හේතුකොටගෙන ඇතැම් සත්ත්වයෝ කාය භෙදයෙන් මරණින් මතු සුගති නම්වූ දිව්ය ලෝකයෙහි උපදිත්.
6. “අපි භවත් ගෞතමයින්ගේ සංක්ෂෙපයෙන් කියන ලද්දාවූ, විස්තර වශයෙන් අර්ථය නොබෙදන ලද්දාවූ, මේ ධර්මයෙහි විස්තර වසයෙන් අර්ථය නොදනිමු. යම්සේ අපි භවත් ගෞතමයින්ගේ කොටින් දේශනා කරන ලද්දාවූ, විස්තර වශයෙන් අර්ථය නොබෙදන ලද්දාවූ, මේ ධර්මය විස්තර වශයෙන් දැන ගන්නෙමුද, භවත් ගෞතමතෙම එසේ ධර්මය දේශනා කරන සේක්වා”යි.
7. එසේවීනම් ගෘහපතියෙනි, අසව්. මනාකොට සිත්හි තබා ගනිව්. කියන්නෙමි”යි. “එසේය පින්වතුන් වහන්ස”යි වෙරඤ්ජක බ්රාහ්මණ ගෘහපතියෝ භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළහ:
8. ගෘහපතියෙනි, තුන් පරිද්දෙකින් කයින් අධර්ම පැවතුම් විෂම පැවතුම් ඇත්තේ වෙයි. වචනයෙන් සතර ආකාරයකින් අධර්ම පැවතුම් විෂම පැවතුම් ඇත්තේ වෙයි. සිතින් තුන් ආකාරයකින් අධර්ම පැවතුම් විෂම පැවතුම් ඇත්තේ වෙයි.