1. 4. 9.
මහා අස්සපුර සූත්රය
1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ අඟු දනව් වැසියන්ගේ අස්සපුර නම් නියම්ගමෙහි වාසය කරති. එකල්හි භාග්යවතුන් වහන්සේ “මහණෙනි’යි කියා භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
2. ‘මහණෙනි, මහජනයා තොප ශ්රමණයෝය, ශ්රමණයෝය’ කියා හඳුනයි. තොපිදු ‘තෙපි කවරහුදැ’යි විචාරණ ලද්දාහු, ‘අපි ශ්රමණයෝ වෙමු’යි ප්රතිඥා කරන්නහුය. මහණෙනි, මෙසේ හඳුනනු ලබන්නාවූ, මෙසේ ප්රතිඥා කරන්නාවූ ඒ තොපගේ ශ්රමණ බව ඇතිකරන්නාවූද, බ්රාහ්මණ බව ඇතිකරන්නාවූද යම් ධර්ම කෙනෙක් වෙද්ද, ඒ ධර්මයන් සමාදන්ව පවතින්නෙමු නම් මෙසේ ඒ හැඳින්වීම සත්යවන්නේය. අපගේ ප්රතිඥාවද ඇත්තක් වන්නේය. අපි යම් කෙණෙකුන්ගේ සිව්රු, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකර වළඳමුද අප විෂයෙහි කරන්නාවූ ඔවුන්ගේ ඒ සත්කාරයෝ මහත් ඵල, මහත් අනුසස් වන්නාහ. අපගේද මේ මහණකම හිස් නොවූ, ඵල සහිතවූ, වැඩීම් සහිතවූ එකක් වන්නේය’යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය.
3. “මහණෙනි, ශ්රමණ බව කරන්නාවූද, බ්රාහ්මණ බව කරන්නාවූද. ධර්මයෝ කවරහුද?
4. ‘හිරි ඔතප් (ලජ්ජා, භය) දෙකින් යුක්ත වූවෝ වන්නෙමු’යි මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි.
5. මහණෙනි, තොපට මෙබඳු අදහසක් විය හැක්කේය. ‘අපි හිරි ඔතප් දෙකින් යුක්තවීමු. මේ ප්රමාණ වන්නේය. මෙපමණකින් කටයුතු කෙළෙමු. අප විසින් මහණකමෙහි පල ලබනලදී. මින්පසු කළයුත්තක් නැතැ’යි තෙපි මෙපමණකින්ම සතුටට පැමිණිය හැකිය.
6. “මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට දන්වමි. මත්තෙහි කටයුතු ඇති කල්හි මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා. “මහණෙනි, මත්තෙහි කටයුතු නම් කුමක්ද? ‘අපගේ කයින් හැසිරීම පිරිසිදු වන්නේය. ප්රකටය. නොවැසුනේය. සිදුරු නැත්තේය. සංවර වූයේය. ඒ කයින් පිරිසුදු බව ඇතිකම නිසා තමන් උසස්කොට නොදකින්නෙමු, අනුන් පහත් කොට නොදකින්නෙමු’යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.
7. “මහණෙනි, තොපට මෙබඳු අදහසක් වියහැකිය. ‘අපි හිරි ඔතප් දෙකින් යුක්තවූවෝ වෙමු. අපගේ කයින් හැසිරීම පිරිසිදුය. මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කළෝ වෙමු. අප විසින් මහණ කමෙහි ඵලය ලබනලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැතැ’යි තෙපි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.
8. “මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට දන්වමි. මහණෙනි, මත්තෙහි කටයුතු ඇතිකල්හි මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා “මහණෙනි, මත්තෙහි කටයුතු නම් කුමක්ද අපගේ වචනයේ පැවැත්ම පිරිසිදුය, ප්රකටය, නොවැසුනේය. සිදුරු නැත්තේය සංවර වූයේය ඒ පිරිසිදු වචන ඇති බැවින් තමන් උසස්කොට නොදක්නෙමු, අනුන් පහත් කොට නොදක්නෙමු’යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.
9. “මහණෙනි, තොපට මෙබඳු අදහසක් වියහැකිය. ‘අපි හිරි ඔතප් දෙකින් යුක්තවූවෝ වෙමු. අපගේ කයින් හැසිරීම පිරිසිදුය වචනයේ පැවැත්ම පිරිසිදුය මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කරණලදී. අප විසින් මහණ කමෙහි ඵල ලබනලදී. අපට මින්පසු කළයුතු කිසිවක් නැතැ මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.
10. “මහණෙනි, තොපට කියමි. තොපට දන්වමි. මහණෙනි, මත්තෙහි කටයුතු ඇති කල්හි, මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා, “මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? ‘අපගේ සිතේ පැවැත්ම පිරිසිදුය, ප්රකටය, නොවැසුනේය, සිදුරු නැත්තේය, සංවරවූයේය. ඒ පිරිසිදු සිතේ පැවැත්ම ඇති බැවින් තමන් උසස්කොට නොදකින්නෙමු. අනුන් පහත්කොට නොදකින්නෙමු’යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.
11. “මහණෙනි, තොපට මෙබඳු අදහසක් විය හැකිය. ‘අපි හිරි ඔතප් දෙකින් යුක්තවුවෝ වෙමු. අපගේ කයේ පැවැත්ම පිරිසිදුය. වචනයේ පැවැත්ම පිරිසිදුය. සිතේ පැවැත්ම පිරිසිදුය. මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කරනලදී. අප විසින් මහණකමෙහි පල ලබනලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැතැ’යි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.