1. 4. 10.
චූළඅස්සපුර සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ අඟු ජනපද වාසීන්ගේ අස්සපුර නම් නියම් ගමෙහි වැඩ වාසය කරති. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ:
2. ‘ශ්‍රමණයෝ, ශ්‍රමණයෝ’ යයි මහජනයා තොප හඳුනයි. තොප ද, ‘තොප කවරහුදැ’යි විචාරණ ලද්දාහු, ‘අපි ශ්‍රමණයෝ වෙමු’යි ප්‍රතිඥා කරන්නාහු ය. මහණෙනි, මෙසේ හඳුනනු ලබන්නාවූ, මෙසේ ප්‍රතිඥා කරන්නාවූ තොප විසින්, ‘ශ්‍රමණයන්ට සුදුසුවූ යම් සාමීචි ප්‍රතිපදාවක් වේ ද, ඒ ප්‍රතිපත්තිය පිළිපදින්නෙමු. මෙසේ අපගේ මේ ශ්‍රමණ නාමය ද සත්‍ය වන්නේය, ප්‍රතිඥාව ද සැබෑවක් වන්නේය. අපි යම් කෙනෙකුන්ගේ සිවුරු, පිණ්ඩපාත, සෙනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මේවා පරිභෝග කරමු ද, අපට ඔවුන්ගේ ඒ දන්දීම් ද මහත්ඵල වන්නාහුය. මහානිසංස වන්නාහුය. අපගේ ද මේ පැවිද්ද වඳ නොවන්නේය, ඵල සහිත වන්නේය, අභිවෘද්ධිය සහිත වන්නේය’යි මෙසේ හික්මිය යුතු ය. මහණෙනි, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි.
3. මහණෙනි, මහණතෙම කෙසේ නම් ශ්‍රමණ සාමීචි ප්‍රතිපදාව නොපිළිපන්නේ වෙයි ද? මහණෙනි, යම්කිසි මහණෙකුගේ අභිජ්ඣාව (දැඩි ලෝභය) පහ නොවූයේ වේ ද, ව්‍යාපාද සිත පහ නොවූයේ වේ ද, ක්‍රෝධය පහ නොවූයේ වේ ද, බද්ධ වෛරය (උපනාහය) පහ නොවූයේ වේ ද, ගුණමකු බව (මක්ඛය) පහ නොවූයේ වේ ද, යුගග්‍රාහය (පළාසය) පහ නොවූයේ වේ ද, ඊර්ෂ්‍යාව පහ නොවූයේ වේ ද, මාත්සර්‍ය්‍යය (මසුරුකම) පහ නොවූයේ වේ ද, කෛරාටික බව (සාඨෙය්‍ය) පහ නොවූයේ වේ ද, මායාව පහ නොවූයේ වේ ද, ලාමක ආශාව (පාපිච්ඡතාව) පහ නොවූයේ වේ ද, මිථ්‍යාදෘෂ්ටිය පහ නොවූයේ වේ ද, මහණෙනි, මම වනාහි ශ්‍රමණයන් කිලිටි කරන ශ්‍රමණ මලයන් වූ, ශ්‍රමණයන් දූෂ්‍ය කරන ශ්‍රමණ දෝෂයන් වූ, ශ්‍රමණයන් සාර රහිත කරන ශ්‍රමණ කසටයන් වූ, අපායෙහි ඉපදීමට කරුණු වූ, දුගතියෙහි විපාක විඳීමට සලසන්නාවූ මේ දෝෂයන් පහ නොකිරීමෙන් ‘ශ්‍රමණ සාමීචි ප්‍රතිපදාව නොපිළිපන්නේය’යි කියමි. මහණෙනි, යම්සේ දෙපස මුවහත් ඇති, පණපොවා මුවහත් තැබූ, ‘මටජ’ නම් ආයුධ විශේෂයක් වේ ද, එය සඟළ සිවුරකින් මනාව වසන ලද්දේ, මනාව වෙළන ලද්දේ වේ ද, මහණෙනි, මෙබඳු මහණහුගේ පැවිද්ද ද මම ඊට උපමා කොට කියමි.
4. මහණෙනි, මම සඟළ සිවුරු දරන්නහුගේ සඟළ සිවුරු දැරීම් මාත්‍රයෙන් ශ්‍රමණභාවය (සාමඤ්ඤය) ඇතැයි නො කියමි. මහණෙනි, මම අචෙලකයාගේ (වස්ත්‍ර නොඅඳින්නාගේ) අචෙලකභාව මාත්‍රයෙන් සාමඤ්ඤය ඇතැයි නො කියමි. මහණෙනි, මම රජෝජල්ලිකයාගේ (දූවිලි දැලි දරන්නහුගේ) රජෝජල්ලිකභාව මාත්‍රයෙන් සාමඤ්ඤය ඇතැයි නො කියමි. මහණෙනි, මම උදකෝරෝහකයාගේ (දියට බසින්නහුගේ) උදකෝරෝහකභාව මාත්‍රයෙන් සාමඤ්ඤය ඇතැයි නො කියමි. මහණෙනි, මම රුක්ඛමූලිකයාගේ (ගසක් මුල හිඳින්නහුගේ) රුක්ඛමූලිකභාව මාත්‍රයෙන් සාමඤ්ඤය ඇතැයි නො කියමි. මහණෙනි, මම අබ්භෝකාසිකයාගේ (එළිමහනෙහි සිටින්නහුගේ) අබ්භෝකාසිකභාව මාත්‍රයෙන් සාමඤ්ඤය ඇතැයි නො කියමි. මහණෙනි, මම උබ්භට්ඨකයාගේ (උඩුකුරුව සිටින්නහුගේ) උබ්භට්ඨකභාව මාත්‍රයෙන් සාමඤ්ඤය ඇතැයි නො කියමි. මහණෙනි, මම පරියායභත්තිකයාගේ (වාර භක්තිකයාගේ) පරියායභත්තිකභාව මාත්‍රයෙන් සාමඤ්ඤය ඇතැයි නො කියමි. මහණෙනි, මම මන්ත්‍ර හදාරන්නහුගේ මන්ත්‍ර හැදෑරීම් මාත්‍රයෙන් සාමඤ්ඤය ඇතැයි නො කියමි. මහණෙනි, මම ජටිලකයාගේ (ජටා දරන්නහුගේ) ජටා දැරීම් මාත්‍රයෙන් සාමඤ්ඤය ඇතැයි නො කියමි.
5. මහණෙනි, ඉදින් සඟළ සිවුරු දරන්නහුට සඟළ සිවුරු දැරීම් මාත්‍රයෙන් අභිජ්ඣාව පහවන්නේ නම්, ව්‍යාපාදය පහවන්නේ නම්, ක්‍රෝධය පහවන්නේ නම්, උපනාහය පහවන්නේ නම්, මක්ඛය පහවන්නේ නම්, පළාසය පහවන්නේ නම්, ඉස්සාව (ඊර්ෂ්‍යාව) පහවන්නේ නම්, මච්ඡරිය (මසුරුකම) පහවන්නේ නම්, සාඨෙය්‍ය (කෛරාටික බව) පහවන්නේ නම්, මායාව පහවන්නේ නම්, පාපිච්ඡතාව (ලාමක ආශාව) පහවන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටිය පහවන්නේ නම්, ඔහුගේ මිත්‍රරාජ්‍යමාත්‍යයෝ ද ඤාතිසාලෝහිතයෝ ද උපන් කෙනෙහි ම ඔහු සඟළ සිවුරු දරන්නෙකු කරන්නාහු ය. සිවුරු දැරීමෙහි ම සමාදන් කරවන්නාහු ය: ‘භවත්නි, මෙහි එව, නුඹ සඟළ සිවුරු දරන්නෙක් වෙව, සඟළ සිවුරු දරන්නා වූ නුඹගේ සඟළ සිවුරු දැරීම් මාත්‍රයෙන් අභිජ්ඣාව පහවන්නේ ය, ව්‍යාපාදය පහවන්නේ ය, ක්‍රෝධය... උපනාහය... මක්ඛය... පළාසය... ඉස්සාව... මච්ඡරිය... සාඨෙය්‍ය... මායාව... පාපිච්ඡතාව... මිථ්‍යාදෘෂ්ටිය පහවන්නේ ය’යි (කියා ය). මහණෙනි, යම් හෙයකින් මම සඟළ සිවුරු දරන්නහු තුළ ද අභිජ්ඣාව, ව්‍යාපාදය, ක්‍රෝධය, උපනාහය, මක්ඛය, පළාසය, ඉස්සාව, මච්ඡරිය, සාඨෙය්‍ය, මායාව, පාපිච්ඡතාව, මිථ්‍යාදෘෂ්ටිය (යන මේවා ඇති බව) දකිම් ද, එහෙයින් මම සඟළ සිවුරු දරන්නහුගේ සඟළ සිවුරු දැරීම් මාත්‍රයෙන් සාමඤ්ඤය (ශ්‍රමණභාවය) ඇතැයි නො වදාරමි.