1. 4. 8.
මහා තණ්හා සංඛය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ, අනේපිඩු මහ සිටුහු විසින් කරවන ලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි වනාහි කෙවට්ටපුත්‍ර වූ සාති නම් භික්ෂුවට මෙබඳු ලාමක වූ මිථ්‍යා දෘෂ්ටියක් උපන්නේ වෙයි. (එනම්) “මේ එකම විඥානය (භවයෙන් භවයට උත්පත්ති වසයෙන්) දුවයි, හැසිරෙයි අනිකක් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දේශනා කරනලද බව මම දනිමියි” (කියායි.)
2. කෙවට්ටපුත්‍ර වූ සාති නම් භික්ෂුවට මෙබඳු වූ ලාමක මිථ්‍යාදෘෂ්ටියක් පහළවී තිබෙනබව බොහෝ භික්ෂූන්වහන්සේලා ඇසූහ. (කෙබඳු දෘෂ්ටියක්ද යත්) ‘මේ එකම විඤ්ඤාණය (භවයෙන් භවයට) දුවයි, හැසිරෙයි, අනිකක් නොවෙයි, භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දේශනා කරනලද බව මම දනිමි” (කියායි.) ඉක්බිති ඒ භික්ෂූහු කෙවට්ටපුත්‍ර වූ සාති භික්ෂුව යම් තැනෙක්හිද එතැනට ගියහ. ගොස්, කෙවට්ටපුත්‍ර වූ සාති භික්ෂුවට මෙසේ කීවාහුය. “ඇවැත්නි, තොපට මෙබඳු ලාමක වූ මිථ්‍යා දෘෂ්ටියක් උපන්නේය, යනු ඇත්තක්ද? ‘මේ එකම විඤ්ඤාණය (භවයෙන් භවයට) දුවයි, හැසිරෙයි, අනිකක් නොවෙයි භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දේශනා කරනලද බව මම දනිමි’ (කියායි.) “ඇවැත්නි, මේ එකම විඤ්ඤාණය භවයෙන් භවයට යයි හැසිරෙයි, අනිකක් නොවේයයි, භාග්‍යවතුන් වහන්සේ විසින් එපරිද්දෙන් දේශනාකරනලද ධර්මය මම දනිමි’යි (සාති භික්ෂුව කීය.)
3. ඉක්බිති ඒ භික්ෂූහු, කෙවට්ටපුත්‍රවූ සාති නම් භික්ෂුව, ලාමකවූ මේ මිථ්‍යාදෘෂ්ටියෙන් වෙන් කරණු කැමැත්තාහු මතය විචාරමින් කරුණු කියති, මතයෙහි පිහිටුවමින් කරුණු කියති, ඊටහේතු අසමින් කරුණු කියති. ‘ඇවැත්නි, සාතිය, මෙසේ නොකියව, භාග්‍යවතුන් වහන්සේට දෝෂාරොපණය නොකරව භාග්‍යවතුන් වහන්සේට දොස් කීම හොඳ නැත. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොවදාරන්නාහ. සාතිය, නොයෙක් ක්‍රමයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘විඥානය ප්‍රත්‍යයෙන් උපදින්නේයයිද, ප්‍රත්‍යයෙන් තොරව විඥානයාගේ පහළවීමක් නැතැ’යිද වදාරණ ලදී. (කියායි.) මෙසේද ඒ භික්ෂූන් විසින් මතය විචාරමින් කරුණු කියනු ලැබූ, මතයෙහි පිහිටුවමින් කරුණු කියනු ලැබූ, ඊට හේතු අසමින් කරුණු කියනු ලැබූ සාති භික්ෂුව ‘මේ එකම විඤ්ඤාණය (භවයෙන් භවයට) දුවයි, හැසිරෙයි, අනිකක් නොවෙයි, භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දේශනා කරන ලද බව මම දනිමි’යි ඒ ලාමක මිථ්‍යා දෘෂ්ටියම තරයේ අල්ලා ගෙන ව්‍යවහාර කරයි. යම් විටෙක ඒ භික්ෂූහු කෙවට්ටපුත්‍රවූ සාති භික්ෂුව ඒ මේ ලාමක මිථ්‍යාදෘෂ්ටියෙන් වෙන්කරන්නට නොහැකි වූවාහුද, එවිට ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක් හිද, එතැනට ගියහ. ගොස්, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකපැත්තක උන්හ. එකපැත්තක උන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාහුය.
4. “ස්වාමීනි, කෙවට්ටපුත්‍රවූ සාති නම් භික්ෂුවට, ‘මේ එකම විඥානය (භවයෙන් භවයට) දුවයි, හැසිරෙයි, අනිකක් නොවේයයි එසේ භාග්‍යවතුන්වහන්සේ විසින් ධර්මය දේශනා කරනලද බව මම දනිමි’යි, මෙබඳුවූ, ලාමකවූ මිථ්‍යාදෘෂ්ටියක් උපන්නේ වෙයි. “ස්වාමීනි, කෙවට්ටපුත්‍රවූ සාති භික්ෂුවට ‘මේ එකම විඤ්ඤාණය (භවයෙන් භවයට) දුවයි, හැසිරෙයි, අනිකක් නොවේයයි එසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය දේශනා කරනලද බව දනිමියි’ මෙබඳු ලාමක මිථ්‍යා දෘෂ්ටියක් උපන් බව අපි ඇසීමු. “ස්වාමීනි, ඉන්පසු අපි කෙවට්ටපුත්‍ර වූ සාති භික්ෂුව යම් තැනකද එහි ගියෙමු ගොස් කෙවට්ටපුත්‍රවූ සාති භික්ෂුව ගෙන් මෙසේ ඇසීමු. ‘ඇවැත්නි, තොපට මෙබඳු වූ ලාමක දෘෂ්ටියක් උපන්නේය යනු ඇත්තක්ද? ‘මේ එකම විඤ්ඤාණය (භවයෙන් භවයට) දුවයි හැසිරෙයි, අනිකක් නොවේ යයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනලද ධර්මය මම දනිමි’ (කියාය) මෙසේ ඇසූ කල්හි කෙවට්ටපුත්‍ර වූ සාති භික්ෂුව අපට මෙසේ කීවේය. ‘ඇවැත්නි මේ එකම විඤ්ඤාණය භවයෙන් භවයට යයි හැසිරෙයි භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දේශනා කරනලද බව මම දනිමි” (කියායි.) “ස්වාමීනි, ඉන්පසු අපි කෙවට්ටපුත්‍ර වූ සාති භික්ෂුව ලාමක වූ මේ මිථ්‍යාදෘෂ්ටියෙන් මුදනු කැමැත්තමෝ, මතය විචාරමින් කරුණු කීවෙමු. මතයෙහි පිහිටුවමින් කරුණු කීවෙමු. ඊට හේතු අසමින් කරුණු කීවෙමු. ඇවැත් සාතිය, මෙසේනොකියව, භාග්‍යවතුන් වහන්සේට දොස් නොකියව. භාග්‍යවතුන් වහන්සේට දොස් කීම නුසුදුසුය. සාතිය, භාග්‍යවතුන්වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ‘විඤ්ඤාණය ප්‍රත්‍යයෙන් උපදින්නේය, ප්‍රත්‍යයෙන් තොරව විඤ්ඤාණයාගේ ඇතිවීමක් නැතැ’යි දේශනා කරන ලද්දේය. (යනුවෙනි) “ස්වාමීනි, මෙසේද මතය විචාරමින් කරුණු කියනු ලැබූ මතයෙහි පිහිටුවමින් කරුණු කියනුලැබූ, ඊටහේතු විචාරමින් කරුණු කියනු ලැබූ කෙවට්ටපුත්‍ර සාති භික්ෂුව ‘ඇවැත්නි මේ එකම විඤ්ඤාණය භවයෙන් භවයට යයි. හැසිරෙයි, අනිකක් නොවේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දේශනා කරනලද බව මම දනිමි’යි ලාමක වූ ඒ මිථ්‍යා දෘෂ්ටියම තදින් අල්වාගෙන ව්‍යවහාර කරයි. “ස්වාමීනි, යම් විටෙක අපි කෙවට්ටපුත්‍රවූ සාති භික්ෂුව මේ ලාමක දෘෂ්ටියෙන් වෙන්කරන්ට නොහැකි වීමුද, එහෙයින් අපි භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කියමු.”
5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් කැඳවූහ: (කැඳවා) “මහණ මෙහි එව මගේ වචනයෙන් ‘ඇවැත්නි සාතිය, ශාස්තෲන් වහන්සේ කැඳවති’යි කෙවට්ට පුත්‍ර සාති භික්ෂුව කැඳවා එව’යි (කීහ.) ‘එසේය, ස්වාමීනි’ යි කියා ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට උත්තරදී කෙවට්ට පුත්‍රවූ සාති භික්ෂුව යම් තැනක්හිද එතැනට ගියේය. ගොස්, කෙවට්ටපුත්‍රවූ සාති භික්ෂුවට මෙසේ කීවේය. ‘ඇවැත් සාතිය, ශාස්තෲන් වහන්සේ තොප කැඳවන්නාහ (කියායි.) ‘එසේය, ඇවැත්නි’යි කෙවට්ටපුත්‍ර වූ සාති භික්ෂුව ඒ භික්ෂුවට උත්තරදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක පැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ කෙවට්ටපුත්‍ර වූ සාති භික්ෂුවගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ ඇසූහ. “සාතිය, තොපට මෙබඳු වූ ලාමක දෘෂ්ටියක් උපන්නේය යනු සැබෑද? ‘මේ එකම විඤ්ඤාණය (භවයෙන් භවයට) යයි, හැසිරෙයි, අනිකක් නොවේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දේශනා කරනලද බව මම දනිමි”යි (කියායි) “ස්වාමීනි එසේය, ‘මේ එකම විඤ්ඤාණය (භවයෙන් භවයට) යයි, හැසිරෙයි. අනිකක් නොවේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දේශනා කරනලද බව මම දනිමි”යි (කීය.)