1. 4. 7.
චූල තණ්හා සංඛය සූත්‍රය
390. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පූර්වාරාම නම්වූ මිගාර මාතු ප්‍රාසාදයෙහි වාසයකරති. එකල්හි සක්දෙව් රජතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක පැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ සක්දෙව් රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය.
2. “ස්වාමීනි, භික්ෂුවක් කොතෙක් කරුණුවලින් නිවන් අරමුණුකොට කෙලෙස්වලින් මිදුණු ‘ඉපදීම් මැරීම් දෙක නිමකළ’ ඒකාන්තයෙන් කෙලෙස් බැමිවලින් මිදුණු නිත්‍ය බ්‍රහ්මචරියා ඇති, ඒකාන්ත කෙළවර ඇති දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨයෙක් වන ප්‍රතිපදාව කොටින් කුමක්දැයි ඇසීය.
3. “දෙවෙන්ද්‍රය, මේ ශාසනයෙහි මහණහු විසින් (පංචස්කන්ධ, දොළොස්ආයතන, අටලොස්ධාතු යන) සියලු ධර්මයෝ (තෘෂ්ණා දෘෂ්ටි දෙකින්) ‘මමය මාගේය’යි අල්වාගැනීමට සුදුසු නොවේ යයි අසන ලද්දේ වේද, දෙවෙන්ද්‍රය, එසේ භික්ෂුව විසින් සියලු ධර්මයෝ ‘මමය මාගේය’යි ගැනීමට සුදුසු නොවේයයි අසන ලද්දේ නම්, හෙතෙම සියලු ධර්මයන් ස්කන්ධ ධාතු ආදි වශයෙන් පිරිසිඳ දනියි. සියලු ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පිරිසිඳ දනියි. සියලු ධර්මයන් පිරිසිඳ දැන සැප වූ හෝ දුක් වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවක් විඳියිද, ඒ වේදනා කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරයි. විරාගය අනුව බලමින් වාසය කරයි. නිරෝධය අනුව බලමින් වාසය කරයි. දුරලීම අනුව බලමින් වාසය කරයි. හෙතෙම ඒ වේදනාවන් කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරන්නේ විරාගය අනුව බලමින් වාසය කරන්නේ, නිරෝධය අනුව බලමින් වාසය කරන්නේ, නොඇලීම අනුව බලමින් වාසය කරන්නේ ලෝකයේ කිසියම් සංස්කාරයක් (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) නොගනියි. (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) නොගන්නේ තැති නොගනියි, තැති නොගන්නේ මේ ආත්මයෙදීම ක්ලෙශ පරිනිර්වාණය කරයි. බ්‍රහ්මචරියාව වැස නිමවන ලදී. කටයුත්ත කරනලදී. මින්පසු තවත් කළයුත්තක් නැත්තේයයි දනියි. “දෙවෙන්ද්‍රය මෙපමණකින් මහණතෙම කොටින් නිවන් අරමුණු කොට කෙලෙසුන් කෙරෙන් මිදුණ, ඉපදීම් මැරීම් දෙක නිමකළ, කෙලෙස් බැමිවලින් මිදුණ ඒකාන්ත බ්‍රහ්මචරියාව, ඇති ඒකාන්ත කෙළවර ඇති, දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨයෙක් වන්නේය’යි, (වදාළේය)
ඉක්බිති සක්දෙව් රජතෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුවී අනුමෝදන්ව බුදුන් වැඳ පැදකුණු කොට එහිම අතුරුදන්විය.
4. 391. එකල්හි මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි හුන්හ. ඉක්බිති මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේට මේ සිත පහළ විය ‘කිමෙක්ද සක්දෙව්තෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව දැන සතුටුවීද, නොහොත් එසේ නොවීද, යම් හෙයකින් මේ දෙව්තෙම භාග්‍යවතුන්වහන්සේගේ වචන දැන සතුටුවීද, නැතහොත් එසේ නොවීදැයි, දැනගන්නෙම් නම් යහපති’ (කියායි). ඉක්බිති මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ යම්සේ ශක්තිමත් පුරුෂයෙක් හකුලන ලද අත දික් කරන්නේද, දික්කළ අත හකුලන්නේද, එමෙන් ඇසිල්ලකින් පූර්වාරාමනම්වූ මිගාරමාතු ප්‍රාසාදයෙහි අතුරුදන්වූයේ තව්තිසා දෙව්ලොවෙහි පහළවූහ.
5. එකල්හි සක්දෙව් රජතෙම එකපුණ්ඩරීක නම් උයනෙහි දිව්‍යමයවූ තූර්‍ය්‍යභාණ්ඩ පන්සියයකින් පිරිවරන ලදුව ඒ (නැටුම් ගැයුම් වැයුම්) රස විඳිමින් සිටියේය. සක්දෙව් රජ තෙම එන්නාවූ මහාමෞද්ගල්ල්‍යායන ස්ථවිරයන් වහන්සේ දුරදීම දැක, ඒ තූර්‍ය්‍ය වාදන පන්සියය නවත්වා ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේට මෙසේ කීය. “නිදුක්වූ මෞද්ගල්‍යායනයන් වහන්ස, මෙහි වඩිනු මැනවි, නිදුක්වූ මෞද්ගල්‍යායනයන් වහන්ස සුබ ගමනක් වේවා! නිදුක්වූ මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්ස, බොහෝ කලකින් මෙහි වැඩියහ. පින්වත් මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්ස, පනවා තිබෙන මේ අසුනෙහි වැඩ හිඳිනු මැනවි”. මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ පනවන ලද ආසනයෙහි වැඩහුන්හ. ශක්‍ර දෙවෙන්ද්‍ර තෙමේද, එක්තරා මිටි ආසනයක් ගෙන එක පැත්තක හුන්නේය. එක පැත්තක හුන්නාවූ ශක්‍රදෙවේන්ද්‍රයාට මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ මෙසේ කීහ. “කොසියයෙනි, භාග්‍යවතුන් වහන්සේ තොපට තෘෂ්ණා විමුක්තිය වදාළේ කෙසේද? අපිද ඒ කථාව ඇසීමට කොටස්කාරයෝ වෙමු නම් හොඳය” (කියාය)
6. 392. “මෞද්ගල්‍යායනයන් වහන්ස, අපි බොහෝ කටයුතු ඇත්තම්හ. වැඩ බහුලයම්හ. ස්වල්පවූ ස්වකීය කටයුතුවලින්ද, තව්තිසා වැසි දෙවියන්ගේ බොහෝ කටයුතුවලින්ද වැඩ බහුලය. එහෙයින් මෞද්ගල්‍යායනයන් වහන්ස, අප විසින් යමක් මනාව අසන ලද්දේද, මනාව ඉගෙන ගන්නා ලද්දේද, මනාව හිත තබා ගන්නා ලද්දේද, මනාව දරණ ලද්දේද, එය වහාම මතක නැතිවීයයි. මෞද්ගල්‍යායනයන් වහන්ස, පෙරවූවක් කියමි. දෙවියන් හා අසුරයන් අතර යුද්ධයක් විය. මෞද්ගල්‍යයනයන් වහන්ස, ඒ යුද්ධයෙන් දෙවියෝ දිනූහ. අසුරයෝ පැරදුනාහ. පින්වත් මෞද්ගල්‍යායනයන් වහන්ස, ඒ මම වනාහි ඒ යුද්ධය දිනා හැරී අවුත් වෛජයන්ත නම් ප්‍රාසාදයක් මැවීමි. මෞද්ගල්‍යායනයන් වහන්ස, ඒ විජයොත්පායෙහි දොරටු සියයෙකි. එක එක දොරටුවෙහි කුළුගෙවල් සත් සියයෙකි. එක එක කුළුගෙයි දිව්‍යප්සරාවෝ සත් සත් දෙනෙක් වෙත්. එක එක දිව්‍යප්සරාවට පිරිවර ස්ත්‍රීහු සත් සත් දෙන වෙති. මෞද්ගල්‍යායනයන් වහන්ස, ඔබවහන්සේ වෛජයන්ත ප්‍රාසාදයෙහි රමණීය භාවය දකින්නට සතුටුද?’ මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ එය නිශ්ශබ්දව ඉවසූහ.