1. 4. 6.
මහා සච්චක සූත්‍රය
1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර මහාවනයෙහි කූටාගාරශාලාවෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි පා සිව්රු ගෙන විසාලාමහනුවරට පිඩුපිණිස වඩිනු කැමතිව මනාව හැඳ පෙරව වැඩ සිටියහ. එවිට සච්චක නිගණ්ඨ පුත්‍රතෙමේ පයින් සක්මන් කිරීම සඳහා ඇවිදින අතර මහාවනයෙහි කූටාගාර ශාලාව යම් තැනෙක්හිද එහි පැමිණියේය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ එන්නාවූ සච්චක නිගණ්ඨපුත්‍රයා දුරදීම දුටහ. දැක භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, කථාවෙහි දක්ෂවූ තමා පණ්ඩිතයෙකැයි කියන්නාවූ, බොහෝ දෙනා විසින් සම්මාන කරණ ලද්දාවූ මේ සච්චක නිගණ්ඨ පුත්‍රතෙම එන්නේය. ස්වාමීනි, මෙතෙම වනාහි බුදුන්ගේ අගුණ කියනු කැමැත්තේය. ධර්මයෙහි අගුණ කියනු කැමැත්තේය. සංඝයාගේ අගුණ කියනු කැමැත්තේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා උපදවා මොහොතක් වැඩහිඳිනු මැනවැ”යි කීහ. භාග්‍යවතුන් වහන්සේ පණවනලද අස්නෙහි වැඩහුන්හ. ඉක්බිති සච්චක නිගණ්ඨපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනක්හිද එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතුවූ, සිහිකටයුතුවූ, කථාව කොට නිමවා එකපැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය:
2. “භවත් ගෞතමයෙනි, කායභාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ, එහෙත් චිත්ත භාවනාවක් නොකරන්නාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. භවත් ගෞතමයෙනි, ඔවුහු ශරීරයෙහි හටගත් දුක් වේදනාව විඳිත්. භවත් ගෞතමයෙනි, පෙරවූවක් කියමි. ශරීරයෙහි හටගත්තාවූ දුක් වේදනා විඳින්නහුට කලවා හිරිවැටීමද, ළයද පැළෙන්නේය. උණුලේද වමනය කරන්නේය. උමතු බවටද, හිත අවුල් බවටද පැමිණෙන්නේය. භවත් ගෞතමයාණෙනි, ඔහුගේ සිත කය අනුව ගියේ වෙයි. කයට අනුව පවතියි. ඊට හේතු කවරේද? සිත නොවැඩූ හෙයිනි, භවත් ගෞතමයෙනි, චිත්තභාවනාවෙහි යෙදෙන්නාවූ එහෙත් කාය භාවනාවක් නොකරන්නාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. භවත් ගෞතමයානෙනි, ඔවුහු චෛතසිකවූ දුක් වේදනා විඳිත්. භවත් ගෞතමයෙනි, පෙර වූවක් කියමි. සිතේ දුක් වේදනාවෙන් පෙළෙන්නාහට කලවා තදවීමක්ද වන්නේය. ළයද පැළෙන්නේය. උණුලේද වමනය කරන්නේය. උමතු බවටද, සිත අවුල් බවටද, පැමිණෙන්නේය. “භවත් ගෞතමයෙනි, ඔහුගේ මේ ශරීරය සිත අනුව ගියේ වෙයි. සිතට අනුව පවතියි. ඊට හේතු කවරේද? ශරීරය නොවැඩූ බැවිනි, භවත් ගෞතමයෙනි, ඒ මට මෙසේ සිතක් වෙයි. ඒකාන්තයෙන් භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ චිත්ත භාවනානුයොගයෙහි යෙදුනාහු වාසය කරති. කායභාවනාවෙහි නොයෙදුනාහුය”යි (කියායි.)
3. “අග්ගිවෙස්සනය, නුඹ විසින් කාය භාවනාව කුමකැයි අසන ලදද?”
“මෙසේ අසනලදී. එනම්: භවත් ගෞතමයෙනි, නන්දවච්ඡය, කිසසංකිච්චය, මක්ඛලිගොසාලය යන මොවුහු වස්ත්‍ර නොහඳින්නෝය, යහපත් පැවතුම් නැත්තෝය. අත ලෙවකන්නෝය නොහොත් අතින් මල පිසදමන්නෝය. එව, වහන්ස, කියා දුන් දෙය නොපිළිගනිත්. සිටුව, වහන්ස, කියා දුන් දෙය නොපිළිගනිත්. ඉදිරියෙන් ගෙනෙනලද දෙය නොපිළිගනිත්. ඔවුන් උදෙසා කරනලද දෙය නොපිළිගනිත්. ආරාධනාකොට දුන් දෙය නොපිළිගනිත්. කළකටින් ගෙන දුන් දෙය නොපිළිගනිත්. සැලි කටින් ගෙන දුන් දෙය නොපිළිගනිත්. එලිපත අතරකොට දුන් දෙය නොපිළිගනිත්. දණ්ඩක් අතරකොට සිට දුන් දෙය නොපිළිගනිත්. මෝල්ගසක් අතර කොට දුන් දෙය නොපිළිගනිත්. අනුභව කරන්නාවූ දෙදෙනෙකුගෙන් එකෙකු දුන් දෙය නොපිළිගනිත්. ගැබිණිය විසින් දුන් දෙය නොපිළිගනිත්. කිරි පොවන්නිය විසින් දුන් දෙය නොපිළිගනිත්. පුරුෂයෙකු වෙත ගිය තැනැත්තිය විසින් දුන් දෙය නොපිළිගනිත්. සම්මාදම් කළ දෙයින් කිසිවක් නොපිළිගනිත්. යම් තැනක බල්ලෙක් පැමිණ සිටියේ නම් (ඔහුට නොදී) එහිදී දුන් දෙය නොපිළිගනිත්. යම් තැනක මැස්සෝ කැටි කැටිව හැසිරෙද්ද, එහිදී දුන් දෙය නොපිළිගනිත්. දිය මස් නොකන්නාහ. ගොඩ මස් නොකන්නාහ. සුරා නොබොන්නාහ. (මල් යුසින්) කළ මත් පැන් නොබොන්නාහ කාඩි දිය නොබොන්නාහ. ඔවුහු එක ගෙයකින් පමණක් පිඩු සිඟන්නෝ හෝ වෙත්. එකම බත්පිඩකින් යැපෙන්නෝ හෝ වෙත්. ගෙවල් දෙකක පිඩු සිඟන්නෝ හෝ වෙත්. බත් පිඩු දෙකකින් යැපෙන්නෝ හෝ වෙත්. ගෙවල් සතක පිඩු සිඟන්නෝ හෝ වෙත්. බත් පිඩු සතකින් යැපෙන්නෝ හෝ වෙත්. එක් කුඩා බත් තැටියකින් යැපෙන්නෝ හෝ වෙත්. බත්තැටි දෙකකින් යැපෙන්නෝ හෝ වෙත්. බත් තැටි සතකින් යැපෙන්නෝ හෝ වෙත්. එක දවසකට වරක් හෝ ආහාර ගනිති. දෙදිනකට වරක් හෝ ආහාර ගනිති. සත්දිනකට වරක් හෝ ආහාර ගනිති. මෙසේ අඩමසකට වරක් ආහාර ගනිමින්ද වාර භොජනයෙහි යෙදී වාසය කරන්නාහ.”
4. “අග්ගිවෙස්සනය, කිමෙක්ද ඔවුහු එපමණකින්ම යැපෙත්ද?”
“භවත් ගෞතමයාණෙනි, ඒ එසේ නොවේමැයි. භවත් ගෞතමයාණෙනි, ඇතැම් දවස්වල ඔවුහු ඉතා ප්‍රණීත කෑම කන්නෝය, ඉතා ප්‍රණීත භොජන වළඳන්නෝය, ඉතා ප්‍රණීත දෙය රසවිඳින්නෝය. ඉතා ප්‍රණීත පාන පානය කරන්නාහුය. ඔවුහු මේ ආහාරයන් කරණ කොටගෙන ශරීරය බලගන්වත්; වඩත්; ඔජා වර්ධනය කරත්.”
“අග්ගිවෙස්සනය, යම් හෙයකින් ඔවුහු පළමු කළ දුෂ්කර ක්‍රියා හැර පසුව ප්‍රණීත ආහාරයෙන් ශරීරය වඩත්ද, මෙසේ මේ ශරීරයාගේ වැඩීම හා නොවැඩීම වෙයි.
5. “අග්ගිවෙස්සනය, නුඹ විසින් චිත්තභාවනාව කුමකැයි කියා අසන ලදද?” භාග්‍යවතුන් වහන්සේ විසින් චිත්තභාවනාව පිළිබඳව විචාරනු ලැබූ සච්චක නිගණ්ඨපුත්‍රතෙම පිළිතුරක් සොයා කියන්නට අසමර්ථ විය.