1. 4. 5.
චූල සච්චක සූත්‍රය
353. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසාලාමහනුවර මහ වනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වාසය කළහ. එකල්හි කථාවෙහි දක්ෂවූ, තමා පණ්ඩිතයෙකැයි කියන්නාවූ, බොහෝදෙනා විසින් උගතෙකැයි කියනු ලබන්නාවූ නිගණ්ඨපුත්‍රවූ සච්චක තෙමේ විසාලාමහනුවර වාසය කරයි. හෙතෙම විසාලාමහනුවර පිරිස්මැද මෙබඳු කථාවක් කියයි. “මා සමග වාදයට පැමිණෙන යම් කිසිවෙක් කම්පා නොවෙයිද, විශේෂයෙන් කම්පා නොවෙයිද, නොවෙවුලා සිටියිද, යමෙකුගේ කිහිලි වලින් ඩහදිය නොපෙරෙයිද, එබඳුවූ ශිෂ්‍ය සමූහ නායකවූ, ගණ නායකවූ, ගණ ආචාරියවූ ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ ‘මම අර්හත් සම්‍යක්සම්බුද්ධය’යි කියාගන්නා කෙනෙකු හෝ නොදකිමි.
ඉදින් මම හිත් පිත් නැති කණුවක් හා වාද කරන්නෙම් නම් ඒ කණුවද කම්පාවන්නේය, විශේෂයෙන් කම්පාවන්නේය. වෙවුලා සිටින්නේය. මනුෂ්‍යවූවෙකු ගැන කියනුම කවරේද?” (කියාය.)
එකල්හි ආයුෂ්මත් අස්සජි ස්ථවිරයන් වහන්සේ උදය කාලයෙහි, පාත්‍ර සිවුරු ගෙන පිඩු පිණිස විසාලාමහනුවරට වැඩියහ. විශාලාමහනුවර ඒ මේ තැන පයින් ඇවිදිමින් සිටි නිගණ්ඨ පුත්‍ර සච්චක තෙමේ ඒ එන්නාවූ ආයුෂ්මත් අස්සජි ස්ථවිරයන් වහන්සේ දුරදීම දුටුයේය. දැක, ආයුෂ්මත් අස්සජි ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට ගියේය. ගොස්, ආයුෂ්මත් අස්සජි ස්ථවිරයන්වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකපැත්තක උන්නේය. එකපැත්තක උන්නාවූ සච්චක නිගණ්ඨ පුත්‍රතෙම ආයුෂ්මත් අස්සජි ස්ථවිරයන් වහන්සේට මෙසේ කීවේය.
“පින්වත් අස්සජි ස්ථවිරයෙනි, ශ්‍රමණ ගෞතමතෙම කෙසේ නම් ශ්‍රාවකයන් හික්මවන්නේද? ශ්‍රාවකයන් විෂයෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ කෙබඳු අනුශාසනාවක් බහුලකොට පවතීද?”
“අග්ගිවෙස්සනය, (සච්චකයාට නමකි.) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වනාහි ශ්‍රාවකයන් හික්මවන්නාහ. ශ්‍රාවකයන් විෂයෙහි භාග්‍යවතුන් වහන්සේගේ මෙබඳු අනුශාසනාව බහුල කොට පවතී:
(එනම්) “මහණෙනි, රූපය අනිත්‍යය, වේදනාව අනිත්‍යය, සංඥාව අනිත්‍යය, සංස්කාරයෝ අනිත්‍යයහ, විඥානය අනිත්‍යය, මහණෙනි, රූපය ආත්ම රහිතය, වේදනා තොම ආත්ම රහිතය. සංඥාව ආත්ම රහිතය, සංස්කාරයෝ ආත්ම රහිතයහ, විඥානය ආත්ම රහිතය, සියලු සංස්කාරයෝ අනිත්‍යයහ, සියලු ධර්මයෝ අනාත්මයහ” (කියායි.)
“අග්ගිවෙස්සනය, මේ ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවති. මෙබඳු කොටස් ඇති අනුශාසනාව භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් විෂයෙහි බොහෝ සෙයින් පවත්වන්නාහ.”
“පින්වත් අස්සජි ස්ථවිරයෙනි, යම්බඳුවූ අපි ශ්‍රමණ ගෞතමයන් මෙබඳු වාද ඇත්තෙකැයි ඇසුවෙමුද, ඒ අපි නොඇසිය යුත්තක් ඇසුවෙමු. අපි කිසියම් දවසක ඒ භවත් ගෞතමයන් සමග එක්වන්නෙමු නම් ඉතා යෙහෙක. යම් කථා සල්ලාපයක් වන්නේ නම් ඉතා යෙහෙක. ඒ ලාමකවූ මිථ්‍යාදෘෂ්ටියෙන් (ඔවුන්) තොරකරන්නෙමු නම් ඉතා යෙහෙකැයි’යි (කීයේය.)
354. එකල්හි වනාහි කිසියම් කටයුත්තක් සඳහා පන්සියයක් පමණ ලිච්ඡවීහු සන්ථාගාර ශාලාවෙහි රැස්ව සිටියහ. එකල්හි සච්චක නිගණ්ඨපුත්‍ර තෙම ඒ ලිච්ඡවීහු යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ ඒ ලිච්ඡවීන්ට මෙසේ කීවේය.
“පින්වත් ලිච්ඡවියෙනි මෙහි එත්වා, පින්වත් ලිච්ඡවියෙනි, මෙහි එත්වා අද ශ්‍රමණ ගෞතමයන් සමග මාගේ කථාවක් වන්නේය. ඉදින් ශ්‍රමණ ගෞතම තෙම ඔහුගේ ප්‍රසිද්ධ ශිෂ්‍යයන් අතුරෙන් එක්තරා කෙනෙකුවූ අස්සජිනම් භික්ෂුව ප්‍රකාශ කළ පරිදිම ප්‍රකාශ කළහොත්, යම්සේ ශක්තිමත් පුරුෂයෙක් දික් ලොම් ඇති එළුවකු ලොම්වලින් ගෙන ඉදිරියට අදින්නේද, පස්සට අදින්නේද, හාත්පස එහා මෙහා අදින්නේද, එපරිද්දෙන්ම මම ශ්‍රමණ ගෞතමයන් කථා මාර්ගයෙන් දෝෂය නගා ඉදිරියට අදින්නෙමි, පස්සට අදින්නෙමි. හාත්පස එහාමෙහා අදින්නෙමි.