1. 4. 4.
චූල ගොපාලක සූත්‍රය
1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ වජ්ජි ජනපදයෙහි උක්කවෙලා නම් නුවර සමීපයෙහි ගංගානම් ගංතෙර වැඩ වාසය කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීන් වහන්ස”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ:
2. “මහණෙනි, පෙර වූවක් කියමි. එනම්, ඉතා අඥාන ස්වභාව ඇති මගධ රට වැසිවූ ගොපල්ලෙක් වස්සාන ඍතුවේ අන්තිම මාසයෙහි ශරත් කාලයෙහි, ගංගානම් නදියෙහි මෙතෙර නොසලකා එතෙර නොසලකා විදෙහ රටට එතෙර කරනු පිණිස නුසුදුසු තොටින් ගවයන් ගඟට බැස්වීය. මහණෙනි, ඉක්බිති ගවයෝ ගංඟානම් නදියෙහි මැද සැඩ පහරෙහි දිය සුලියකට අසුවී එහිම විනාශයට පත්වූහ. ඊට හේතු කවරේද? මහණෙනි, ඉතා අඥාන ස්වභාව ඇති මගධ රට වැසි ඒ ගවපාලකයා වස්සාන ඍතුවේ අන්තිම මාසයෙහි සරත් කාලයෙහි ගංගා නම් ගඟෙහි මෙතෙර නොසලකා එතෙර නොසලකා විදෙහ රටට එතෙර කරනු පිණිස ගවයන් ගඟට බැස්වීය.
3. “මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ ලෝකය පිළිබඳව අදක්ෂයෝ වෙත්ද, පරලොව පිළිබඳව අදක්ෂයෝ වෙත්ද, මාරයාට අයත්වූවෙහි අදක්ෂයෝ වෙත්ද, මාරයාට අයත් නොවූවෙහි අදක්ෂයෝ වෙත්ද, මැරෙන ස්වභාව ඇති දෙයෙහි අදක්ෂයෝ වෙත්ද, නොමැරෙන ස්වභාව ඇති දෙයෙහි අදක්ෂයෝ වෙත්ද, ඔවුන්ගේ ධර්මය ඇසිය යුතුයයිද, ඇදහිය යුතුයයිද, යම් කෙනෙක් හඟින්නාහුද, ඔවුන්ට ඒ ඇසීම හෝ ඇදහීම හෝ බොහෝ කාලයක් මුලුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේය.
4. “මහණෙනි, පෙර වූවක් කියමි. නුවණැත්තාවූ මගධරට වැසි ගොපල්ලෙක් වර්ෂා ඍතුවේ අවසාන මාසයෙහි සරත් කාලයෙහි ගංගානම් ගඟෙහි මෙතෙර සලකා බලා එතෙර සලකා බලා විදෙහ රටට එතෙර කරනු පිණිස සුදුසු තොටින් ගවයන් ගඟට බැස්වීය. හෙතෙම පළමු කොටම ගව පියන්වූ, ගවනායකවූ යම් ඒ වෘෂභයෝ වෙත්ද, ඔවුන් ගඟට බැස්වීය. ඒ ගවයෝ ගඟෙහි සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය. ඊට අනතුරුව බලවත් වූද දමනය කටයුතුවූද ගවයින් ගඟට බැස්වීය. ඔවුහුද සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය. ඊළඟට නහඹු වැස්සන් හා නහඹු වැස්සියන්ද බැස්වීය. ඔවුහුද සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය. ඊළඟට කුඩා වසුපැටවුන් ගඟට බැස්වීය. ඔවුහුද සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය.
මහණෙනි, පෙර වූවක් කියමි. ඉතා බාලවූ එකෙණෙහිම උපන් මවු දෙනගේ හඬින් ගෙන යනු ලබන වසුපැටියා පවා ගඟෙහි සැඩපහර සරසට කපා සුවසේ එතර වීය. ඊට හේතු කවරේද? නුවණ ඇත්තාවූ මගධ රට වැසි ගොපලු තෙම වර්ෂා ඍතුවෙහි අන්තිම මාසයෙහි සරත් ඍතුවෙහි ගංගානම් ගඟෙහි මෙතෙර සලකා බලා එතෙර සලකා බලා එතෙරවූ විදෙහ රටට නිසි තොටින්ම ගවයන් එතෙර කළේය.
5. “මහණෙනි, එසේම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ ලෝකයෙහි දක්ෂයෝ වෙද්ද, පරලෝකයෙහි දක්ෂයෝ වෙද්ද, මාරයාට අයත් වූවෙහි දක්ෂයෝ වෙද්ද, මාරයාට අයත් නොවූවෙහි දක්ෂයෝ වෙද්ද, මැරෙන ස්වභාව ඇති දෙයෙහි දක්ෂයෝ වෙද්ද, නොමැරෙන ස්වභාව ඇති දෙයෙහි දක්ෂයෝ වෙද්ද, යමෙක තුමූ ඔවුන්ගේ ධර්මය ඇසියයුතු කොට, ඇදහියයුතු කොට හඟින්නාහුද, ඔවුන්හට ඒ ඇසීම හා ඇදහීම බොහෝ කලක් මුලුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේය.
6. “මහණෙනි, යම් සේ ගවයන්ගේ පියවරුන් වූ, ගවයන්ට නායක වූ යම් ඒ වෘෂභයෝ ගඟෙහි සැඬපහර හරහට සිඳගෙන සුවසේ එතෙරට ගියාහුද, මහණෙනි, එපරිද්දෙන්ම නැති කළ කෙලෙස් ඇති, වැස නිම වූ බ්‍රහ්මචර්යාව ඇති, කළ යුතු දෑ කළ, බහා තැබූ කෙලෙස් බර ඇති, පිළිවෙළින් පැමිණි රහත් බව ඇති, නැති කළ භවසංයෝජන ඇති, මනා කොට දැන කෙලෙසුන්ගෙන් මිදුණු යම් ඒ රහතන් වහන්සේලා වෙත්ද, උන්වහන්සේලා මාරයාගේ (තෘෂ්ණා නැමැති) සැඬපහර හරහට සිඳ සුවසේ එතෙරට (සසරින් එතෙර වූ නිවනට) ගියාහුය.
7. “මහණෙනි, යම්සේ ඒ බලවත් ගවයෝද, හික්ම විය යුතු ගවයෝද සැඬපහර සිඳ ගඟ හරහා සුවසේ ගියාහුද, මහණෙනි, එසේම යම් ඒ භික්ෂුකෙනෙක් ඔරංභාගිය සංයෝජනයන් සිඳී මෙන් බඹලොව ඔපපාතිකව ඉපද එයින් කාම ලෝකයට නොපැමිණෙන්නාවූ, අනාගාමි පුද්ගලයෝ වෙත්ද, ඔවුහුද මාරයාගේ සැඬපහර කපා සුවසේ එතරවන්නාහුය.
8. “මහණෙනි, යම්සේ නහඹු වස්සෝද, නැහැඹි වැස්සියෝද, සැඬපහර සිඳ ගඟ හරහා සුවසේ එතර වූවාහුද, මහණෙනි, එසේම යම් ඒ භික්ෂූහු ත්‍රිවිධ සංයෝජනයන් නැති කිරීමෙන් රාග ද්වේෂ මෝහයන් තුනී කිරීමෙන් සකෘදාගාමිවූවාහු එක් වරක්ම මේ කාමලෝකයට එන ස්වභාව ඇතිව දුක් කෙළවර කරන්නාහු වෙත්ද, ඔවුහුද මාරයාගේ සැඬපහර සිඳ සුවසේ එතෙරට යන්නාහුය.
9. “මහණෙනි, යම්සේ දුර්වලවූ වස්සෝ සැඬපහර සිඳ ගඟ හරහා සුවසේ එතෙර වූවාහුද, මහණෙනි, එපරිද්දෙන්ම යම් ඒ භික්ෂූහු සංයෝජන තුන නැති කිරීමෙන් සෝවාන් වූවාහු සතර අපායෙහි නොවැටෙන සුලුවූවාහු, නියතයෙන්ම රහත් බව ලබන්නාහු වෙත්ද, ඔවුහුද මාරයාගේ සැඬ පහර සිඳ සුවසේ එතෙරට යන්නාහුය.