1. 4. 3.
මහාගොපාලකසුත්තං
1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේ පිඩු සිටුහු විසින් කරවන ලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීන්වහන්ස”යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
2. මහණෙනි, එකොළොස් අංගයකින් යුක්තවූ ගොපලු තෙම ගව සමූහයා හසුරුවන්ටද, දියුණු කරන්ටද නුසුදුසු වෙයි. කවර අංග එකළොසකින්ද යත්?
මහණෙනි, මේ ලෝකයෙහි ගොපලු තෙම, ගවයන්ගේ ගණන හෝ වර්ණ සටහන් හෝ නොදන්නේ වේද, ලකුණු නොදන්නේ වෙයිද, වණ බෙහෙත් ලා ශුද්ධ නොකරන්නේ වෙයිද, වණය බෙහෙත් යොදා වසා නොබඳින්නේ වෙයිද, බෙහෙත් දුම් නොඅල්ලන්නේ වෙයිද, තොටවල් මනාව නොදනියිද, ගවයින් පැන් බිවූ හෝ නොබිවුබව නොදනියිද, මඟනොදනියිද, ඒ ඒ දිනවල ගවයන් හැසිරවිය යුතු තැන් නොදනියිද, සියලු කිරි දොවින්නේ වෙයිද, ගව පියන්වූ ගව නායකයන්වූ වෘෂභයන්හට විශේෂ සැලකිලි නොකරන්නේ වෙයිද. මහණෙනි, මේ අංග එකොළසින් යුක්තවූ ගොපලු තෙම ගවසමූහයා හසුරුවන්නටද දියුණු කරන්ටද නුසුදුසු වෙයි.
3. මහණෙනි, එපරිද්දෙන්ම ධර්ම එකොළොසකින් යුක්තවූ, මහණ තෙම මේ ශාසනයෙහි වැඩීමටද, දියුණුවටද, විපුල බවටද පැමිණෙන්ට සුදුසු නොවෙයි. කවර එකොළොසකින්ද යත්?
මහණෙනි, මේ සස්නෙහි මහණතෙම රූප නොදන්නේ වේද, ලක්ෂණ නොදන්නේවේද, පණුබිජු ඉවත්නොකරන්නේ වේද, තුවාල නොවසන්නේ වේද, දුම් නොඅල්ලන්නේ වේද, තොටුපල නොදනීද, බොන ලද්ද නොදනීද, වීථිය නොදනීද, ගොචරයෙහි අදක්ෂ වේද, ඉතිරි නොකර දොවන්නේ වේද; බොහෝ රාත්රි දන්නාවූ, පැවිදිවී බොහෝ කල් ගිය, සංඝ පීතෘ වූ, සංඝනායක වූ යම් ඒ ස්ථවිර භික්ෂූහු වෙත්ද, ඔවුන්ට අතිරේක පූජාවෙන් නොපුදන්නේ වේද.
(1.) මහණෙනි, මහණතෙම කෙසේනම් රූප නොදන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම යම් කිසි රූපයක්වෙයි නම් ඒ සියලු රූපය සතර මහාභූත රූපයන් හා සතර මහා භූතයන් නිසා පවත්නා රූපයයි ඇති සැටියෙන් නොදනීද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම රූප නොදන්නේ වෙයි.
(2.) මහණෙනි, මහණ තෙම කෙසේනම් ලක්ෂණයෙහි අදක්ෂවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම අඥානයා (අකුසල) කර්මය ලක්ෂණ කොට ඇත්තේය, ඥානවන්තයා (කුසල) කර්මය ලක්ෂණ කොට ඇත්තේයයි ඇතිසැටියෙන් නොදනීද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම ලක්ෂණයෙහි අදක්ෂවූයේ වෙයි.
(3.) මහණෙනි, මහණ තෙම කෙසේ නම් පණු බිජු ඉවත් නොකරන්නේවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම තමාගේ සිතෙහි පහළවූ කාමකල්පනා ඉවසාද, දුරුනොකරයිද ඉවත් නොකරයිද, විනාශ නොකරයිද, අභාවයට නොපමුණුවයිද, උපන්නාවූ ව්යාපාද කල්පනා ඉවසාද, දුරු නොකරයිද, විනාශ නොකෙරේද, අභාවයට නොපමුණුවයිද. උපන්නාවූ විහිංසා කල්පනා ඉවසාද, දුරු නොකරයිද, ඉවත් නොකෙරේද, විනාශ නොකෙරේද, අභාවයට නොපමුණුවයිද, උපනුපන් ලාමක අකුසල කල්පනා ඉවසාද ඉවත් නොකෙරේද, විනාශ නොකෙරේද, අභාවයට නොපමුණුවාද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම පණු බිජු ඉවත්නොකරන්නේ වේ.
(4.) මහණෙනි, කෙසේ නම් මහණතෙම තුවාල නොවසන්නේවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඇසින් රූප දැක ශුභවසයෙන් ගන්නේ වෙයිද, ඉතාහොඳයයි ගන්නේ වෙයිද, යමක් හේතුකොටගෙණ ඇසින් අසංවරව වසන්නහුට දැඩි ලෝභය හා දොම්නස යන ලාමකවූ අකුසල ධර්මයෝ රැස් වන්නාහුද, ඒ ඇස සංවර කරගැනීමට නොපිළිපදියිද, ඇස නොරකියිද, ඇස සම්බන්ධයෙන් සංවරයට නොපැමිණෙයිද, කණින් ශබ්දය අසා... නාසයෙන් සුවඳ දැන... දිවෙන් රසය විඳ... කයින් ස්පර්ශය විඳ... සිතින් අරමුණු දැන ශුභ වශයෙන් ගන්නේ වෙයිද, ඉතා හොඳයයි ගන්නේ වෙයිද, යමක් හේතු කොට ගෙන (සිත) අසංවරව වසන්නහුට දැඩි ලෝභය හා දොම්නස යන ලාමක අකුශල ධර්මයෝ රැස්වන්නාහුද, ඒ සිත සංවරකර නොගනියිද, සිත නොරකියිද, සිත පිළිබඳව සංවරයට නොපැමිණෙයිද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම තුවාල නොවසන්නේ වේ.
(5.) මහණෙනි, මහණතෙම කෙසේ නම් දුම් නොදෙන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඇසූ පරිදි, පුහුණ කළ පරිදි අනුන්ට විස්තර වශයෙන් ධර්මය නොදෙසන්නේවේද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම දුම් නොදෙන්නේ වෙයි.
(6.) මහණෙනි, මහණතෙම කෙසේනම් තොටවල් නොදන්නේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම බොහෝ ඇසූ පිරූ තැන් ඇති, උගත් ආගම ඇති, දහම් දරන්නාවූ, විනය දරන්නාවූ මාතෘකා පාලි දරන්නාවූ යම් ඒ භික්ෂූහු වෙත්ද, ඔවුන්වෙත කලින්කල පැමිණ, ‘ස්වාමීනි, මෙය කෙසේද, මේ පදයාගේ අර්ථය කවරේදැ’යි නොවිචාරයිද, නැවත නැවත නොවිචාරයිද, ඒ ආයුෂ්මත්හු ඔහුට අප්රකට කාරණය ප්රකට කර නොදෙත්ද. නොයෙක් සැක කටයුත්තන්හි සැක දුරු නොකරත්ද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම තොටවල් නොදන්නේ වෙයි.
(7.) මහණෙනි, කෙසේනම් මහණතෙම පානය කළයුතු දෙය නොදනීද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම තථාගතයන් වහන්සේ විසින් වදාළාවූ ධර්ම විනය දේශනා කරනු ලබන කල්හි අර්ථය දැනීමෙන් සතුටක් නොලබයිද, පාළිය දැනීමෙන් සතුටක් නොලබයිද, ධර්මයෙන් යුක්තව සතුටක් නොලබයිද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම පානය කළයුත්ත නොදනියි.