1. 4. 2.
මහා ගොසිංග සූත්‍රය
1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ගොසිංග සාලවන නම් අරණ්‍යයෙහි සුප්‍රසිද්ධ සුප්‍රසිද්ධ බොහෝ ස්ථවිර ශ්‍රාවකයන් සමග,-එනම්:- ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේ, ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්වහන්සේ, ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සහ මෙයින් අන්‍යවූද අතිශයින් ප්‍රසිද්ධව; ස්ථවිර ශ්‍රාවකයින් වහන්සේලා සමඟ-වැඩ වාසය කරති.
2. ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමාපත්තියෙන් නැඟී සිට ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතනට ගියහ. ගොස්, “ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයෙනි, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනකද බණ අසනු පිණිස එහි යමු”යි කීහ. ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ “ඇවැත්නි, එසේය”යි ආයුෂ්මත් මහා මෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ.
3. ඉක්බිති ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනකද, බණ අසනු පිණිස එහි ගියහ. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවීරයන් වහන්සේ යම් තැනකද, බණ අසනු පිණිස එහි යනු දුටහ. දැක ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එහි ගියහ. ගොස් ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ: “ආයුෂ්මත් රෙවත ස්ථවිරයෙනි, අසවල් සත්පුරුෂයෝ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනකද, බණ අසනු පිණිස එහි යන්නාහ. ආයුෂ්මත් රෙවත ස්ථවිරයෙනි, අපිත් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනකද බණ අසනු පිණිස එහි යමු” (කියායි) ඇවැත්නි, “එසේය”යි ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ඉක්බිති ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනකද බණ අසනු පිණිස එහි ගියහ.
4. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ එසේ එන්නාවූ ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද දුරදීම දුටහ. දැක, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ: “ආයුෂ්මත් ආනන්දයෙනි, එනු මැනවි. භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකවූ, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි හැසිරෙන්නාවූ ආයුෂ්මත් ආනන්දයන්ගේ මෙහි පැමිණීම ඉතා යහපත්ය. ඇවැත්නි, ආනන්දයෙනි, ගොසිංගසාලවනය සිත්කලුය, රාත්‍රිය සඳ පහනින් බබලන්නීය. සල්ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍යසුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් ආනන්දයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණ කොට ගෙන ගොසිංගසාලවනය හොබනේදැ”යි (විචාළහ.)
[ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ:]
5. “ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මේ සාසනයෙහි භික්ෂුවක් බොහෝ ඇසූපිරූ තැන් ඇත්තේ වෙයිද, ඇසූ දේ සිත්හි දරන්නේ වෙයිද, ඇසූ ධර්මය සිත්හි රැස්කර ගත්තේ වෙයිද, මුල යහපත්වූ මැද යහපත්වූ අග යහපත්වූ අර්ථ සහිත බ්‍යඤ්ජන සහිතවූ යම් ඒ ධර්මකෙනෙක් මුළුමනින් සම්පූර්ණවූ පිරිසිදුවූ බ්‍රහ්මචරියාව ප්‍රකාශ කෙරෙත්ද, එබඳුවූ ධර්ම ඔහු විසින් බොහෝකොට අසන ලද්දාහු වෙත්ද, ප්‍රගුණ කරන ලද්දාහු වෙත්ද, වචනයෙන් කීම් වසයෙන් පුරුදුකරණ ලද්දාහු වෙත්ද, සිතින් සලකන ලද්දාහු වෙත්ද, ප්‍රඥාවෙන් මනාව අවබෝධ කරණ ලද්දාහු වෙත්ද හෙතෙම ආශ්‍රව (කෙලෙස්) නැති කිරීම පිණිස සිවුවණක් පිරිසට පද බ්‍යඤ්ජන සම්පත්තියෙන් සම්පූර්ණ කර ධර්මය දේශනා කරයිද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, එබඳු භික්ෂුවක් කරණකොට ගෙන ගොසිංගසාලවනය හොබනේය’යි (කීහ.)
6. මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් රෙවත ස්ථවිරයන්ට මෙසේ කීහ. “ඇවැත් රෙවතයෙනි, ආයුෂ්මත් ආනන්දයන් විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරන ලද්දේය. එහිලා දැන් ආයුෂ්මත් රෙවතයන් විචාරමු. ඇවැත් රෙවතයෙනි, ගොසිංගසාලවනය සිත්කලුය, රාත්‍රිය සඳපහනින් බබලන්නීය. සල්ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් රෙවතයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණකොටගෙන ගොසිංගසාලවනය හොබනේදැ”යි (විචාළහ.)
[ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේ:]
7. “ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් පලසමවත්හි ඇලුනේ පලසමවත්හි කැමැත්ත ඇත්තේ තමාගේ හිත සමාධිගත කිරීමෙහි යෙදුනේ පහනොකළ ධ්‍යාන ඇත්තේ විදර්ශනායෙන් යුක්තවූයේ ශූන්‍යාගාරයෙහි භාවනාවන් වඩන්නේ වෙයිද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙබඳු භික්ෂුවක් කරණකොටගෙන ගොසිංගසාල වනය හොබනේය”යි (කීහ.)
8. මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙසේ කීහ. “ඇවැත් අනුරුද්ධයෙනි, ආයුෂ්මත් රෙවතයන් විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරන ලද්දේය. එහිලා දැන් අපි ආයුෂ්මත් අනුරුද්ධයන් විචාරමු. ඇවැත්නි, අනුරුද්ධයෙනි, ගොසිංගසාලවනය සිත්කලුය. රාත්‍රිය සඳපහනින් බබලන්නීය. සල්ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් අනුරුද්ධයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණ කොට ගෙන ගොසිංගසාල වනය හොබනේදැයි, (විචාළහ.)
[ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ:]
9. “ඇවැත්නි, ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මේ ශාසනයෙහි භික්ෂුව පිරිසුදුවූ, මිනිස්බව ඉක්මවූ දිවඇසින් දහසක් ලොකධාතුව බලයිද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, ඇස් ඇති පුරුෂයෙක් උඩුමහල් තලයකට ගියේ නිම්වළලු දහසක් දකින්නේ යම්සේද, එසේම භික්ෂුව පිරිසුදුවූ, මිනිස් බව ඉක්මවූ දිවඇසින් දහසක් ලොකධාතුව බලයිද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙබඳු භික්ෂුවක් කරණකොටගෙන ගොසිංගසාලවනය හොබනේය”යි (කීහ.)