1. 4. 1.
1. චූලගොසිංග සූත්‍රය
325. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ නාදික නම් ගම (ගඩොලින්ම කළ හෙයින්) ‘ගිඤ්ජකාවසථ’ නම් වූ විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේද ‘ගොසිංග සාලවන’ නම් වූ ආරණ්‍යයෙහි වාසය කළහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පල සමවතින් නැගී සිටියේ ගොසිංග සාලවන නම් ආරණ්‍ය සේනාසනය යම් තැනකද එතැනට වැඩියහ. වන පාලක පුරුෂ තෙම වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුවේය. දැක, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ශ්‍රමණය, මේ වනයට ඇතුළු නොවනු මැනවි. තමන්ට වැඩ කැමති ස්වභාව ඇත්තාවූ කුල පුත්‍රයෝ තුන් දෙනෙක් මෙහි වාසය කරති. ඔවුන්ට අපහසුවක් නොකරනු මැනවි.”
ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ සමග කරන්නාවූ වනපාලයාගේ කථාව ඇසූහ. අසා වනපාලයාට මෙසේ කීහ. “ඇවැත්නි, වනපාලයෙනි, භාග්‍යවතුන් වහන්සේ නොවළක්වව, අපගේ ශාස්තෘවූ භාග්‍යවතුන් වහන්සේ පැමිණියහ”යි (කීහ)
ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේද යම් තැනකද එතැනට පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන් වහන්සේටද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේටද, මෙසේ කීහ. “එන්න ආයුෂ්මතුනි, එන්න ආයුෂ්මතුනි, අපගේ ශාස්තෘවූ භාග්‍යවතුන් වහන්සේ වැඩියහ”යි (කීහ.)
එවිට ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේ ද භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට ගමන් කොට එක නමක් භාග්‍යවතුන්වහන්සේගේ පාත්‍රය හා සිවුරු පිළිගත්තේය. එක නමක් ආසන පැණවීය. එක නමක් පා සේදීමට දිය තැබීය. භාග්‍යවතුන් වහන්සේ පනවනලද ආසනයෙහි වැඩ හිඳ පා සේදූහ. ඒ ආයුෂ්මත්හුද භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක හිඳ ගත්හ. එක් පැත්තක උන්නාවූ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
326. “අනුරුද්ධයෙනි, කිමෙක්ද තොපට ඉරියව් ඉවසිය හැකිද? කිමෙක්ද දිවි පැවැත්විය හැකිද? කිමෙක්ද, පිණ්ඩපාතයෙන් අපහසු නොවන්නාහුද?”
ස්වාමීනි, ඉවසිය හැකිය, දිවි පැවත්විය හැකිය. “ස්වාමීනි, අපි පිණ්ඩපාතයෙන් අපහසු නොවන්නෙමු”යි කීහ.
“අනුරුද්ධයෙනි, කිමෙක්ද, තෙපි සමගිය, සතුටුව, විරුද්ධවාද නැතිව, කිරිත් වතුරත් මෙන් එක්ව, ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වාසය කරව්ද?”
“ස්වාමීනි, එකාන්තයෙන් අපි සමගිව, සතුටුව, විරුද්ධවාද නැතිව, කිරිත් වතුරත් මෙන් එක්ව, ඔවුනොවුන් ප්‍රිය ඇසින් දකිමින් වාසය කරමු”යි (කීහ)
“අනුරුද්ධයෙනි, තෙපි කෙසේ නම් සමගිව, සතුටුව, විරුද්ධවාද නැතිව, කිරිත් වතුරත් මෙන් එක්ව, ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වාසය කරන්නහුද?”
“ස්වාමීනි, මට මෙසේ කල්පනා වෙයි. යම්බඳුවූ මම මෙබඳුවූ සබ්‍රම්සරුන් (එකට මහණ දම් පුරන්නන්) සමග වාසය කරම්ද, ඒ මට එකාන්තයෙන් ලාභයකි, එකාන්තයෙන් හොඳ ලාභයකි’ (යනුවෙනි) මේ ආයුෂ්මතුන් කෙරෙහි, ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද ඒ මාගේ මෛත්‍රී සහගත ක්‍රියා ඇත්තීය. ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද මෛත්‍රී සහගත වචන ඇත්තේය. ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද මෛත්‍රී සහගත සිත් ඇත්තේය. ස්වාමීනි, එසේවූ මට යම් හෙයකින් මගේ සිත යටහත් කර තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් අනුවම වාසය කරම් නම් යෙහෙකැයි අදහස් වෙයි. ස්වාමීනි, ඒ මම මගේ සිත යටහත්කර තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් අනුවම වාසය කරමි. ස්වාමීනි, අපගේ ශරීර පමණක් වෙන්ව පවත්නාහුය. සිත් වනාහි එකක්මයයි හඟිමි.”
ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන් වහන්සේද භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි මට මෙසේ කල්පනාවෙයි. යම්බඳුවූ මම මෙබඳුවූ සබ්‍රම්සරුන් (එකට මහණදම්පුරන්නන්) සමග වාසය කරම්ද, ඒ මට එකාන්තයෙන් ලාභයකි, එකාන්තයෙන් හොඳ ලාභයකි’ (යනුවෙනි.) මේ ආයුෂ්මතුන් කෙරෙහි, ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද මෛත්‍රී සහගත ක්‍රියා ඇත්තීය, ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද මෛත්‍රී සහගත වචන ඇත්තේය. ඉදිරියෙහි ඇති තැනද ඉදිරියෙහි නැති තැනද මෛත්‍රී සහගත සිත් ඇත්තේය. ස්වාමීනි, එසේවූ මට යම් හෙයකින් මගේ සිත යටහත් කර තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් අනුවම වාසය කරම් නම් යෙහෙකැයි අදහස් වෙයි. ස්වාමීනි, ඒ මම මගේ සිත යටහත් කර තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් අනුවම වාසය කරමි. ස්වාමීනි, අපගේ ශරීර පමණක් වෙන්ව පවත්නාහුය. සිත් වනාහි එකක්මයයි හඟිමි.” ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේද භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි, මට මෙසේ කල්පනා වෙයි. ‘යම්බඳුවූ මම මෙබඳුවූ සබ්‍රම්සරුන් සමග වාසය කරම්ද, ඒ මට එකාන්තයෙන් ලාභයකි. එකාන්තයෙන් හොඳ ලාභයකි’ (යනුවෙනි) මේ ආයුෂ්මතුන් කෙරෙහි, ඉදිරියෙහි ඇති තැනද ඉදිරියෙහි නැති තැනද මෛත්‍රී සහගත ක්‍රියා ඇත්තීය. ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද මෛත්‍රී සහගත වචන ඇත්තේය. ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද මෛත්‍රී සහගත සිත් ඇත්තේය. ස්වාමීනි, එසේවූ මට යම් හෙයකින් මගේ සිත යටහත් කර තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත අනුවම වාසය කරම් නම් යෙහෙකැයි අදහස් වෙයි. ස්වාමීනි, ඒ මම මගේ සිත යටහත්කර තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් අනුවම වාසය කරමි. ස්වාමීනි, අපගේ ශරීර පමණක් වෙන්ව පවත්නාහුය. සිත් වනාහි එකක්මයයි හඟිමි.”
327. “අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත, අනුරුද්ධයෙනි, කිමෙක්ද? තෙපි අප්‍රමාද වූවාහු, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තාහු, සතර මාර්ගයෙහි යවනලද සිත් ඇත්තාහු වාසය කරව්ද?”
“ස්වාමීනි, අපි එකාන්තයෙන් අප්‍රමාද වූවාහු, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූවාහු, සතර මඟ යවනලද සිත් ඇත්තාහු වාසය කරමු.”
“අනුරුද්ධයෙනි, තෙපි කෙසේ නම් අප්‍රමාද වූවාහු, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තාහු, සතර මඟ යවනලද සිත් ඇත්තාහු වාසය කරව්ද?”