1. 2. 9.
ද්වෙධා විතක්ක සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඩු මහ සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළහ. “ස්වාමීනි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
2. “මහණෙනි, බුදුවන්නට කලින් බුදුනොවූ බොධිසත්වවූ මට මේ අදහස ඇතිවිය ‘මම විතර්කයන් (කල්පනාවන්) දෙකොටසක් දෙකොටසක් කොට බෙදා වාසය කරන්නෙම් නම් හොඳය’ කියායි. මහණෙනි, ඒ මම යම් මේ කාම විතර්කයක් (කාමයන් පිළිබඳ කල්පනාවක්) වේද යම් ව්‍යාපාද විතර්කයක් (ක්‍රොධ කල්පනාවක්) වේද, යම් විහිංසා විතර්කයක් (හිංසා කල්පනාවක්) වේද, මේ අකුසල කල්පනා එක් කොටසක් කෙළෙමි. යම් මේ නෛෂ්ක්‍රම්‍ය (කාමයන්ගෙන් වෙන්වීමේ) කල්පනාවක් වේද, යම් අව්‍යාපාද (මෛත්‍රී සහගත) කල්පනාවක් වේද යම් අවිහිංසා (හිංසා නොකිරීමේ) කල්පනාවක් වේද මේ කුසල කල්පනා දෙවෙනි කොටස කෙළෙමි.
3. මහණෙනි, මෙසේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්යය ඇතිව වාසය කරන්නාවූ ඒ මට කාම කල්පනාවක් උපදියිද ඒ මම මෙසේ දනිමි. මට මේ කාම කල්පනාව උපන්නීය. ඒ කාම කල්පනාව වනාහි තමහටද දුක් පිණිස පවතියි. අන්‍යයා හටද දුක් පිණිස පවතී. දෙපක්ෂයටමද දුක් පිණිස පවතියි. ප්‍රඥාව වළකන්නීය. දුක් පක්ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීය. මහණෙනි, තමහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවූ මගේ සිතේ උපන් කාම කල්පනාව විනාශයට යෙයි. මහණෙනි, පරහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවූ මා තුළ උපන් කාම කල්පනාව විනාශයට යෙයි. දෙපක්ෂයටම දුක් පිණිස පවතීයයි සලකන්නාවූ මා තුළ උපන් කාම කල්පනාව විනාශයට යෙයි. ප්‍රඥාව වළකන්නීය. දුක් පක්ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවතින්නීයයි සලකන්නාවූ මා තුළ උපන් කාම කල්පනාව විනාශයට යෙයි. මහණෙනි, ඒ මම උපන් කාම විතර්කය දුරුකෙළෙම් මය, බැහැර කෙළෙම්මය. එය ඉතිරි නොකෙළෙම්මය.
4. මහණෙනි, මෙසේ අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යය ඇතිව වාසය කරන්නාවූ ඒ මට ක්‍රොධ සහගත කල්පනාවක් පහළ වෙයිද -පෙ- හිංසා කිරීමේ කල්පනාව පහළ වෙයිද. ඒ මම මෙසේ දනිමි. මට මේ හිංසා කිරීමේ කල්පනාව උපන්නීය. ඒ හිංසා කිරීමේ කල්පනාව වනාහි තමහටද දුක් පිණිස පවතී. අන්‍යයාහටද දුක් පිණිස පවතී. දෙපක්ෂයටමද දුක් පිණිස පවතියි. ප්‍රඥාව වළකන්නීය. දුක් පක්ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීය. මහණෙනි, තමහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවූ මගේ සිතේ උපන් හිංසා කිරීමේ කල්පනාව විනාශයට යෙයි. මහණෙනි, පරහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවූ මා තුළ උපන් හිංසා කිරීමේ කල්පනාව විනාශයට යෙයි. දෙපක්ෂයටම දුක් පිණිස පවතීයයි සලකන්නාවූ මා තුළ උපන් හිංසා කිරීමේ කල්පනාව විනාශයට යෙයි. ප්‍රඥාව වළකන්නීය, දුක් පක්ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීයයි සලකන්නාවූ මා තුළ උපන් හිංසා කිරීමේ කල්පනාව විනාශයට යෙයි. මහණෙනි, ඒ මම උපන් හිංසා කිරීමේ කල්පනාව දුරු කෙළෙම්මය, බැහැර කෙළෙම්මය, ඉතිරි නොකෙළෙම්මය.
5. මහණෙනි, මහණතෙම යම් යම් කල්පනාවක් බොහෝ කොට නැවත නැවත කල්පනා කරයිද, නැවත නැවත සිත්හි පවත්වයිද, ඒ ඒ පරිද්දෙන් හිතේ නැමීම වෙයි. මහණෙනි, ඉදින් මහණතෙම කාම විතර්කය බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත පවත්වයිද, කාමයන්ගෙන් වෙන්වීමේ කල්පනාව දුරු කෙළේද, කාම කල්පනා බහුල කෙළේද ඔහුගේ ඒ සිත කාම විතර්කය පිණිස නැමෙයි. මහණෙනි, ඉදින් මහණතෙම ක්‍රොධ කල්පනා බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිත්හි පවත්වයි, ක්‍රෝධයෙන් වෙන්වීමේ කල්පනාව දුරු කළේද, ක්‍රොධ කල්පනා බහුල කළේද, ඔහුගේ ඒ සිත ක්‍රොධ කල්පනා පිණිස නැමෙයි. මහණෙනි, ඉදින් හිංසා කිරීමේ කල්පනා බොහෝකොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිත්හි පවත්වයිද, විහිංසාවෙන් වෙන්වීමේ කල්පනාව දුරුකෙළේද, විහිංසා කල්පනා බහුල කෙළේද ඔහුගේ ඒ සිත විහිංසා කල්පනාව පිණිස නැමෙයි.
6. මහණෙනි, යම්සේ වැහිකාලයට අයත් අන්තිම මාසයෙහි සරත් කාලයෙහි ගොයමට යෑම වැළැක්විය යුතු කල්හි ගොපලුතෙම ගවයන් පාලනය කෙරේද, හෙතෙම ඒ ගවයන්ට ඒ ඒ පැත්තෙන් කෙවිටෙන් පහර දෙන්නේය. නැවත නැවත පහර දෙන්නේය. ඔබ මොබ යානොදී වළක්වන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ගොපලුතෙම ඒ ගවයන් හොඳින් බලානොගැනීම හේතුකොට ගෙන පැමිණිය හැකි හිංසා පීඩාද, වධ බන්ධනද, ධන හානියද, නින්දා අපහාසද දකියි. මමද මහණෙනි, එසේම අකුශල ධර්මයන්ගේ දෝෂයද, ලාමක බවද, කෙලෙසීමද, කුශල ධර්මයන්ගේද, කාමයන්ගෙන් වෙන්වීමෙහි අනුසස්ද, පිරිසිදු බවද දුටුයෙමි.
7. මහණෙනි, මෙසේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්යය ඇතිව කාය ජීවිත පරිත්‍යාග කොට වාසය කරන්නාවූ ඒ මට කාමයන්ගෙන් නික්මීමේ කල්පනාව උපදීද, ඒ මම මෙසේ දනිමි. මට මේ කාමයන්ගෙන් වෙන්වීමේ කල්පනාව උපන්නේය. ඒ වනාහි තමහට දුක් පිණිසද නොවෙයි. පරහට දුක් පිණිසද නොවෙයි. දෙපක්ෂයටමද දුක් පිණිස නොවෙයි. ලෞකික ලොකොත්තර ප්‍රඥාව වඩයි. දුක් උපදවන පක්ෂයෙහි නොවෙයි. නිවන් පිණිස පවත්නේය. මහණෙනි, මුලු රාත්‍රියෙහිම එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන බයක් නොමදකිමි. දාවල් කාලය මුලුල්ලෙහි එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොට ගෙන බයක් නොමදකිමි. රෑ දාවල් දෙක්හිම කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොට ගෙන භයක් නොමදකිමි. එසේද වුවත් බොහෝ වේලාවක් කල්පනා කරන්නාවූ මාගේ ශරීරය ක්ලාන්ත වෙයි, ශරීරය ක්ලාන්තවූවිට සිත නොසන්සුන් වෙයි. සිත නොසන්සුන්වූ කල්හි සමාධිය කෙරෙන් සිත ඈත්වෙයි. මහණෙනි, ඒ මම ඇතුළතින්ම සිත මනාව තබමි, හිඳුවමි, එකඟ කරමි, මනාව පිහිටුවමි. ඊට හේතු කවරේද? මාගේ සිත නොවිසිරේවායි (සිතායි.)