1. 2. 10.
විතක්කසණ්ඨාන සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුහුගේ ජේතවනාරාමයෙහි වාසය කළ සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනී’යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
2. “මහණෙනි, අධිචිත්ත (සමාධි) වඩන භික්ෂුව විසින් කාලයෙන් කාලයට මෙනෙහි කළ යුතු නිමිති (කරුණු) පහක් වෙයි. ඒ පහ මොනවාද?
3. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවට යම් අරමුණක් නිසා යම් අරමුණක් මෙනෙහි කිරීම හේතුකොට ගෙන ලෝභ සහගත වූද, දෝෂ සහගත වූද, මෝහ සහගත වූද ලාමක වූ අකුසල කල්පනා උපදිද්ද, මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ අරමුණ හැර අන්ය වූ කුසල සහගත අරමුණක් මෙනෙහි කළ යුතුය. ඒ අරමුණෙන් බැහැරව අන්ය වූ කුසල සහගත අරමුණක් මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගත වූ, දෝෂ සහගත වූ, මෝහ සහගත වූ ලාමක වූ යම් අකුසල කල්පනාවෝ වෙද්ද ඒ අකුසල කල්පනාවෝ පහවෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත අභ්යන්තරයෙහිම පිහිටයි, නවතියි, එකඟ වෙයි, සමාධිය ඇතිවෙයි. මහණෙනි, යම්සේ දක්ෂ වඩුවෙක් හෝ වඩු ගෝලයෙක් හෝ සියුම් ඇණයකින් රළු ඇණයක් පිටකරන්නේද, නෙරපා හරින්නේ ද, මහණෙනි, එසේම භික්ෂුවට යම් අරමුණක් මෙනෙහි කිරීම නිසා ලෝභ සහගත වූද, දෝෂ සහගත වූද, මෝහ සහගත වූද ලාමක අකුසල කල්පනාවෝ උපදිද්ද, ඒ භික්ෂුව විසින් ඒ අරමුණ හැර අන්ය වූ කුසල සහගත අරමුණක් මෙනෙහි කළ යුතුය. එවිට ඒ අකුසල කල්පනාවෝ පහවෙත්, විනාශ වෙත්, සිත අභ්යන්තරයෙහිම පිහිටයි, නවතියි, එකඟ වෙයි, සමාධිය ඇතිවෙයි. [1. අන්යනිමිත්ත කොටස.]
4. මහණෙනි, ඒ අරමුණෙන් බැහැරව අන්ය වූ කුසල සහගත අරමුණක් මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට තවදුරටත් ලෝභ සහගත වූ, දෝෂ සහගත වූ, මෝහ සහගත වූ ලාමක අකුසල කල්පනාවෝ උපදිත් නම්, මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ කල්පනාවන්ගේ ආදීනව මෙනෙහි කළ යුතුය: ‘මෙසේ ද මේ කල්පනාවෝ අකුසල්ය, මෙසේ ද මේ කල්පනාවෝ වරද සහිතය, මෙසේ ද මේ කල්පනාවෝ දුක් විපාක ඇත්තෝය’ කියායි. ඒ කල්පනාවන්ගේ ආදීනව මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවගේ ලෝභ සහගත වූද, දෝෂ සහගත වූද, මෝහ සහගත වූද යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් වෙද්ද, ඒ ලාමක අකුසල කල්පනාවෝ පහවෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම සිටියි, නවතියි, එකඟවෙයි, සමාධිය ඇතිවෙයි.
මහණෙනි, යම්සේ තරුණ වූ, අලංකාරයට කැමති වූ ස්ත්රියක් හෝ පුරුෂයෙක් හෝ සර්ප කුණක් හෝ බලු කුණක් හෝ මිනී කුණක් හෝ බෙල්ලෙහි එල්ලීමෙන් පිළිකුල් කරන්නේද, මහණෙනි, එපරිද්දෙන්ම ඒ අරමුණෙන් බැහැරව අන්ය වූ කුසල සහගත අරමුණක් මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට අකුසල කල්පනාවෝ උපදිත් නම්, ඒ භික්ෂුව විසින් ‘මේ කල්පනාවෝ අකුසල්ය, මේ කල්පනාවෝ වරද සහිතය, මේ කල්පනාවෝ දුක් විපාක ඇත්තෝය’ කියා ඒ කල්පනාවන්ගේ ආදීනව මෙනෙහි කළ යුතුය. එවිට ඒ ලාමක අකුසල කල්පනාවෝ පහවෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි, නවතියි, එකඟ වෙයි, සමාධිය ඇතිවෙයි. [2. ආදීනව කොටස.]
5. මහණෙනි, ඒ කල්පනාවන්ගේ ආදීනව මෙනෙහි කරන්නා වූ ඒ භික්ෂුවට තවදුරටත් ලෝභ සහගත වූ, දෝෂ සහගත වූ, මෝහ සහගත වූ ඒ ලාමක අකුසල කල්පනාවෝ උපදිත් නම්, මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ කල්පනා මෙනෙහි නොකිරීමටත්, අමතක කිරීමටත් පැමිණිය යුතුය. ඒ අකුසල කල්පනා මෙනෙහි නොකරන්නාවූ, අමතක කරන්නාවූ ඒ භික්ෂුවට ඒ අකුසල කල්පනාවෝ පහවෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි, නවතියි, එකඟ වෙයි, සමාධිය ඇතිවෙයි. මහණෙනි, යම්සේ ඇස් ඇති පුරුෂයෙක් ඇස් හමුවට පැමිණි රූපයක් නොදකිනු කැමති නම් ඇස් පියාගන්නේ ද, නැතහොත් අන් දෙසක් බලන්නේ ද, මහණෙනි, එසේම ඒ අකුසල කල්පනාවන්ගේ ආදීනව මෙනෙහි කරන භික්ෂුවට ඒ කල්පනා උපදිත් නම්, ඔහු ඒවා මෙනෙහි නොකළ යුතුය, අමතක කළ යුතුය. එවිට ඒ ලාමක අකුසල කල්පනාවෝ පහවෙත්, විනාශ වෙත්, සිත අභ්යන්තරයෙහිම පිහිටයි, නවතියි, එකඟ බවට පැමිණෙයි, සමාධිය ඇතිවෙයි. [3. අසති කොටස.]
6. මහණෙනි, ඒ කල්පනා මෙනෙහි නොකරන්නාවූ, අමතක කරන්නාවූ භික්ෂුවට තවදුරටත් ලෝභ සහගත වූ, දෝෂ සහගත වූ, මෝහ සහගත වූ ලාමක අකුසල කල්පනාවෝ උපදිත් නම්, මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ කල්පනාවන්ගේ මුල් හේතුව (විතක්කසංඛාරසණ්ඨානය) මෙනෙහි කළ යුතුය. ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ඒ ලාමක අකුසල කල්පනාවෝ පහවෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි, නවතියි, එකඟ වෙයි, සමාධිය ඇතිවෙයි.