1. 2. 8.
8. මධු පිණ්ඩික සූත්‍රය
1. මා විසින් මෙසේ අසනලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත්පුර නිග්‍රොධාරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි සර්වඥයන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පෙරවා පාත්‍රය හා සිවුරගෙන කිඹුල්වත්පුරයට පිඬු පිණිස පිවිසියහ. කිඹුල්වත්පුරයෙහි පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුනේ මහා වනය යම් තැනෙක්හිද එතැනට දහවල් වාසය පිණිස එළඹියහ. මහා වනයට වැද තරුණ බෙලි ගසක් මුල දිවාවිහරණය පිණිස වැඩහුන්හ. දණ්ඩපාණී නම් ශාක්‍ය තෙමේද පා රුජා දුරු කර ගැනීම සඳහා සක්මන්කිරීම වශයෙන් ඇවිදින්නේ මහාවනය යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. මහා වනයට වැද තරුණ බෙලි රුක යම්තැනෙක්හිද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ සර්වඥයන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතුවූද සිහි කටයුතු වූද කථාව කොට නිමවා සැරයටියෙහි එල්බගෙන එකත්පස්ව සිටියේය. එකත්පස්ව සිටියාවූ දණ්ඩපාණී ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය:
“ශ්‍රමණ තෙමේ කිනම් වාද ඇත්තෙක්ද? කිනම් වාදයක් ප්‍රකාශ කරන්නෙක්ද?”
“ඇවැත්නි, යම් බඳුවූ වාද ඇත්තෙක් දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බඹුන් සහිතවූ ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවූ ප්‍රජා සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ සියලු ලෝකයෙහි කිසිවෙකු හා වාද විවාද කරමින් නොසිටීද, කාමයන්ගෙන් වෙන්ව වාසය කරන්නාවූ සැක නැත්තාවූ, කුකුස් නැති කළාවූ, කුඩා මහත් භවයන් කෙරෙහි ආශා නැත්තාවූ කෙලෙස් රහිතවූ යම් ඒ බ්‍රාහ්මණයෙකු තුළ කෙලෙස් හැඟීම් අනුශය වශයෙන් නොපවත්නාහුවෙත්ද, ඇවැත්නි, මම මෙබඳු වාද ඇත්තෙක් වෙමි. මෙසේ කියන්නෙක් වෙමි”යි වදාළහ. මෙසේ කී කල්හි දණ්ඩපාණී ශාක්‍යතෙම හිස වනා දිව පිටට දමා ලෙලවා රැළි තුනක් ඇති නළල් රැළිය නළලෙහි නංවා සැරයටියෙහි එල්බගෙන ගියේය.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි උතුම් පල සමවතින් නැගිටියේ නිග්‍රොධාරාම විහාරය යම් තැනෙක්හිද එතැනට වැඩියහ. වැඩමවා පණවනලද ආසනයෙහි වැඩහුන්හ. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ආමන්ත්‍රණය කොට මෙසේ වදාළහ: “මහණෙනි, මම පෙරවරුවෙහි හැඳ පාසිවුරු ගෙන කිඹුල්වත් නුවරට පිඬු පිණිස පිවිසියෙමි. කිඹුල්වත් නුවර පිඬු පිණිස හැසිර සවස්වරුවෙහි පිණ්ඩපාතයෙන් වැළකුනේ මහා වනය යම් තැනෙක්හිද එතැනට දවල් කාලය ගතකරනු පිණිස ගියෙමි. මහවනයට වැද තරුණ බෙලිගස මුල දිවා විහරණය වශයෙන් හුන්නෙමි. මහණෙනි, දණ්ඩපාණී ශාක්‍ය තෙමේද පා රුජා දුරුකර ගැනීම වශයෙන් ඇවිදින්නේ, මහාවනය යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. මහාවනයට පැමිණ තරුණ බෙලිගස යම් තැනෙක්හිද, මා යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, මා සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා සැරයටියෙහි එල්බගෙන එකත්පසක සිටියේය. මහණෙනි, එකත්පසක සිටියාවූ දණ්ඩපාණී ශාක්‍යතෙම මාගෙන් මෙය ඇසීය: ‘ශ්‍රමණ තෙමේ කුමන වාද ඇත්තෙක්ද? කුමක් ප්‍රකාශ කරන්නෙක්දැ?’යි.”
3. “මහණෙනි, මෙසේ කී කල්හි මම දණ්ඩපාණී ශාක්‍යයාට මෙසේ කීවෙමි: ‘ඇවැත්නි, යම්බඳු වාද ඇත්තෙක් දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලෝකයෙහි ශ්‍රමණ බ්‍රහ්මණයන් සහිතවූ ප්‍රජාව සහිතවූ ලෝකයෙහි කිසිවෙකු හා වාද විවාද කරමින් නොසිටීද, කාමයන්ගෙන් වෙන්ව වාසය කරන්නාවූ සැක නැත්තාවූ කුකුස් සින්දාවූ කුඩා මහත් භවයන් කෙරෙහි පහවූ තණ්හා ඇති යම් ඒ බ්‍රාහ්මණයකු තුළ කෙලෙස් හැඟීම් අනුශය වශයෙන් නොපවත්නාහුවෙත්ද, ඇවැත්නි, මම එබඳු වාද ඇත්තෙක් වෙමි, මෙසේ කියන්නෙක් වෙමි’යි. මහණෙනි, මෙසේ කී කල්හි දණ්ඩපාණී ශාක්‍යතෙම හිස වනා දිව පිටට ගෙන ලෙලවා රැළි තුනක් ඇති නළල් රැළිය නළලෙහි නංවා සැරයටියෙහි එල්බගෙන ගියේය.”
4. මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කිනම් වාදයක් ඇත්තාවූ සේක් දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවූ සත්ත්වයන් සහිත ලෝකයෙහි කිසිවෙකු හා වාද විවාද කරමින් නොසිටින්නේද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් කාමයන්ගෙන් වෙන්ව වාසය කරන්නාවූ, සැක නැත්තාවූ කුකුස් සින්දාවූ කුඩා මහත් භවයන් කෙරෙහි පහවූ තණ්හා ඇති ඒ බ්‍රාහ්මණයා තුළ සංඥාවෝ අනුශය වශයෙන් නොපවත්නාහුද?”