1. 2. 7.
වනපත්ථ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඩු මහසිටුහු විසින් කරවන ලද ජේතවන නම් ආරාමයෙහි වැඩවාසය කරති. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. ‘ස්වාමීනි, කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
2. “මහණෙනි, තොපට වනපත්ථ පර්යාය (අරණ්‍ය සේනාසන පිළිබඳ ක්‍රමය) දේශනා කරන්නෙමි. එය අසව් මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” ඒ භික්ෂූහු ‘එසේය ස්වාමීනි,’ කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
3. “මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා වන සෙනසුනක් ඇසුරු කොට වාසය කරයිද, ඒ වන සෙනසුන ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ නොසිටියිද, එකඟ නොවූ සිත එකඟ නොවෙයිද, පහ නොකළාවූ කෙලෙස් විනාශයට නොපැමිණේද, නොපැමිණියාවූ උතුම් වූ නිර්වාණයට නොපැමිණෙයිද, පැවිද්දන් විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිත පැවැත්මට අවශ්‍යවූ යම් දේ වෙත්ද, ඒ දේ ඔහුට දුකසේ ලැබෙත්ද මහණෙනි, ඒ මහණ විසින් මෙසේ සැලකිය යුතුයි. ‘මම වනාහී මේ වන සෙනාසනය ඇසුරු කොට වාසය කරමි. මේ වන සෙනසුන ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියි එකඟනුවූ සිත එකඟ නොවෙයි. පහ නුවූ කෙලෙස් පහවීමට නොපැමිණෙයි පෙර නොපැමිණියාවූ උතුම්වූ නිර්වාණයටද නොපැමිණෙයි. පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන යමක් ඇද්ද එය දුකසේ ලැබේය’යි සිතිය යුතුය. මහණෙනි, ඒ මහණ විසින් රාත්‍රි කාලයෙහි හෝ දහවල් කාලයෙහි හෝ ඒ වන සෙනසුන අත්හැර යායුතුයි. එහි නොසිටිය යුතුයි.
4. “මහණෙනි මේ ශාසනයෙහි මහණතෙම එක්තරා වනසෙනසුනක් ඇසුරුකොට වාසයකරයිද, ඒ වනසේනාසනය ඇසුරු කොට වාසයකරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ නොසිටියිද, එකඟ නොවූ සිත එකඟ නොවෙයිද, පහ නොකළාවූ කෙලෙස් විනාශයට නොපැමිණෙයිද, නොපැමිණියාවූ උතුම්වූ නිර්වාණයට නොපැමිණෙයිද, පැවිද්දන් විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යම් දෙයක් වෙයිද එය ඔහුට පහසුවෙන් ලැබෙයි. මහණෙනි, ඒ මහණ විසින් මෙසේ සැලකිය යුතුයි. ‘මම වනාහි මේ වන සේනාසනය ඇසුරුකොට වාසය කරමි. මේ වන සෙනසුන ඇසුරුකොට වාසය කරන්නාවූ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියි, එකඟනුවූ සිත එකඟ නොවෙයි. පහ නොකළාවූ කෙලෙස් නැතිවීමට නොපැමිණෙයි, පෙර නොපැමිණියාවූ උතුම්වූ නිර්වාණයටද නොපැමිණෙමි.–
යම් ඒ පැවිද්දන් විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යම් දේ වෙත්ද, ඒ දේ ඔහුට පහසුවෙන් ලැබෙයි. එහෙත් මම සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවූයෙමි. ආහාරය උදෙසා -පෙ- සෙනසුන් උදෙසා -පෙ- ගිලන්පස බෙහෙත් පිරිකර උදෙසා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවූයෙමි. එහෙත් මේ වන සෙනසුන ඇසුරු කොට වාසය කරන්නාවූ මට එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියි. එකඟ නොවූ සිත එකඟ නොවෙයි. පහ නොවූ කෙලෙස් පහ නොවෙයි. නොපැමිණියාවූ උතුම් නිවණට නොපැමිණෙමි’යි සිතා, මහණෙනි, ඒ භික්ෂුව විසින් මනාකොට සලකා බලා ඒ වන සෙනසුන හැර යා යුතුයි. එහි නොවිසිය යුතුයි.
5. “මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා වන සෙනසුනක් ඇසුරුකොට වාසය කරයිද, ඒ වන සෙනසුන ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ සිටියිද, එකඟ නොවූ සිත එකඟ වෙයිද, පහ නොවූ කෙලෙස් පහ වෙයිද, නොපැමිණියාවූ උතුම් නිවණට පිළිවෙළින් පැමිණෙයිද, පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද, එය ඔහුට දුකසේ ලැබෙයිද, මහණෙනි, ඒ භික්ෂුව විසින් මෙසේ සිහිකටයුතුයි. ‘මම වනාහි මේ වන සෙනාසනය ඇසුරු කොට වාසය කරමි. මේ වන සෙනාසනය ඇසුරු කොට වාසය කරන්නාවූ මට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ සිටියි එකඟ නොවූ සිත එකඟ වෙයි. පහ නොවූ කෙලෙස් පහවී යයි. නොපැමිණියාවූ උතුම් නිවණටද පිළිවෙළින් පැමිණෙමි. යම් ඒ පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද, එය මට දුකසේ ලැබේ. මම වනාහි සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. ආහාරය උදෙසා -පෙ- සෙනාසන උදෙසා -පෙ- ගිලන්පස, බෙහෙත් පිරිකර උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. එතකුදු වුවත් මේ වන සෙනසුන ඇසුරු කොට වාසය කරන්නාවූ මට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ සිටියි, එකඟ නොවූ සිතද එකඟ වෙයි පහ නොවූ කෙලෙස්ද පහවී යයි. නොපැමිණියාවූ උතුම් නිවණට පිළිවෙළින් පැමිණෙමි’යි සිතා, මහණෙනි, ඒ භික්ෂුව විසින් මනාකොට සලකා බලා එම සෙනාසනයෙහි විසිය යුතුයි. බැහැර නොයා යුතුයි.
6. “මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම එක්තරා වන සෙනසුනක් ඇසුරුකොට වාසයකරයිද, ඒ වනසෙනසුන ඇසුරු කොට වාසය කරන්නාවූ ඕහට පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියිද, එකඟ නොවූ සිත එකඟ වෙයිද, පහනොවූ කෙලෙස් පහවී යයිද, නොපැමිණියාවූ උතුම් නිවණට පිළිවෙළින් පැමිණෙයිද, පැවිද්දහු විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යමක් වෙයිද, එය ඔහුට සුවසේ ලැබෙයිද, මහණෙනි, ඒ මහණ විසින් මෙසේ සැලකිය යුතුයි: