1. 2. 6.
චෙතොඛිල සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඩු මහ සිටුහුගේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි’ කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
2. මහණෙනි, යම්කිසි භික්ෂුවක් විසින් සිත බැඳී පවත්නා කණු වැනි හෙයින් චෙතොඛිල නම්වූ ධර්මපහක් පහනොකරන ලද්දාහුද හිත සම්බන්ධවූ බැමි පසක් නොසිඳින ලද්දාහුද ඒ භික්ෂුතෙම ඒකාන්තයෙන් මේ ශාසනයෙහි අභිවෘද්ධියටද වැඩීමටද මහත් බවටද පැමිණෙන්නේය, යන මේ කාරණය සිදු නොවෙයි.
3. ඔහු විසින් පහ නොකරන ලද චෙතොඛිල ධර්මපස කවරහුද?
මහණෙනි, මේ ශාසනයෙහි, මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කරයිද, අවිශ්වාස කරයිද මෙසේ මෙසේයයි නිශ්චයට නොපැමිණේද නොපහදීද මහණෙනි, යම් ඒ භික්ෂුවක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැකකෙරේද විශ්වාස නොකෙරේද, නිශ්චයට නොපැමිණේද නොපහදීද ඒ භික්ෂුහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් පළමුවන චෙතොඛිල ධර්මය පහනොකරන ලද්දේ වෙයි.
4. මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ධර්මයෙහි සැකකෙරේද අවිශ්වාස කරයිද මෙසේ මෙසේ යයි නිශ්චයට නොපැමිණේද, නොපහදීද මහණෙනි, යම් භික්ෂුවක් ධර්මයෙහි සැකකෙරේද අවිශ්වාස කරයිද, මෙසේ මෙසේයයි නිශ්චයට නොපැමිණේද නොපහදීද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමෙයි, යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් දෙවෙනි චෙතොඛිල ධර්මය පහ නොකරන ලද්දේ වෙයි.
5. මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සංඝයා කෙරෙහි සැක කෙරේද? අවිශ්වාස කරයිද, මෙසේ මෙසේයයි නිශ්චයට නොපැමිණේද, නොපහදීද මහණෙනි, යම් ඒ භික්ෂුවක් සංඝයා කෙරෙහි සැක කෙරේද? අවිශ්වාස කරයිද, මෙසේ මෙසේ යයි නිශ්චයට නොපැමිණේද, නොපහදීද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් තුන්වැනි චෙතොඛිල ධර්මය පහ නොකරන ලද්දේ වෙයි.
6. මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ත්‍රිවිධ ශික්ෂාව කෙරෙහි සැකකෙරේද, අවිශ්වාස කෙරේද, නිශ්චයට නොපැමිණේද, නොපහදීද, මහණෙනි, යම් ඒ භික්ෂුවක් ත්‍රිවිධ ශික්ෂාව කෙරෙහි සැකකෙරේද අවිශ්වාස කෙරේද, නිශ්චයට නොපැමිණේද, නොපහදීද, ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස, එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස, නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් සතරවැනිවූ චෙතොඛිල ධර්මය පහ නොකරන ලද්දේ වෙයි.
7. මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙතෙම සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නොසතුටු සිත් ඇත්තේ තරහයෙන් මැඩුණු සිත් ඇත්තේ තද ගතියෙන් යුක්තවූයේ වේද, මහණෙනි, යම් ඒ භික්ෂුවක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නොසතුටු සිත් ඇත්තේ තරහයෙන් මැඩුණ සිත් ඇත්තේ තදගතියෙන් යුක්තවූයේ වේද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් මේ පස්වැනි චෙතොඛිල ධර්මය පහනොකරන ලද්දේ වෙයි.
ඔහු විසින් මේ චෙතොඛිල ධර්ම පස පහ නොකරන ලද්දාහු වෙත්.
8. ඔහු විසින් කවර නම් සිත පිළිබඳ බැමි පසක් නොසිඳින ලද්දාහුද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයෙහි පහනුවූ ආශාව ඇත්තේ වේද පහ නුවූ කැමැත්ත ඇත්තේවේද පහ නුවූ ප්‍රේමය ඇත්තේවේද පහ නුවූ පිපාසය ඇත්තේ වේද පහ නුවූ දැවිල්ල ඇත්තේ වේද පහ නුවූ තෘෂ්ණාව ඇත්තේ වේද. මහණෙනි, යම් මහණෙක් තෙම කාමයෙහි පහ නුවූ ආශාව ඇත්තේ වේද, පහනුවූ කැමැත් ඇත්තේ වේද පහ නුවූ ප්‍රේමය ඇත්තේ වේද, පහ නුවූ පිපාසය ඇත්තේවේද පහ නුවූ දැවිල්ල ඇත්තේ වේද පහ නුවූ තෘෂ්ණාව ඇත්තේ වේද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් මේ පළමුවෙනි සිත පිළිබඳ බැම්ම නොසිඳින ලද්දේ වේ.
9. මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම තමන්ගේ කයෙහි පහ නුවූ ආශාව ඇත්තේ වේද පහනොවූ කැමැත්ත ඇත්තේ වේද, පහ නොවූ ප්‍රේමය ඇත්තේ වේද, පහනොවූ පිපාසය ඇත්තේවේද, පහ නොවූ දැවිල්ල ඇත්තේ වේද, පහ නුවූ තෘෂ්ණාව ඇත්තේ වේද. මහණෙනි, යම් මේ භික්ෂුවක් තමන්ගේ කයෙහි පහ නුවූ ආශාව ඇත්තේ වේද, පහ නොවූ කැමැත්ත ඇත්තේ වේද පහ නොවූ ප්‍රේමය ඇත්තේ වේද, පහ නොවූ පිපාසය ඇත්තේ වේද පහ නොවූ දැවිල්ල ඇත්තේ වේද, පහනොවූ තෘෂ්ණාව ඇත්තේ වේද, ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් හිත පිළිබඳවූ මේ දෙවෙනි බැම්ම නොසිඳින ලද්දේ වේ.