1. 2. 5.
අනුමාන සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ භග්ග දනව්වෙහි සුංසුමාර ගිරි නම් නුවර මිගදාය නම් වූ භෙසකලා නම් වනයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ 'ඇවැත්නි, මහණෙනි' කියා භික්ෂූන්ට කතා කළහ. 'ඇවැත්නි' කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට පිළිතුරු දුන්හ. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ: 'ඇවැත්නි, භික්ෂුවක් ඉදින් “ආයුෂ්මතුන් වහන්ස, මට වදාරන සේක්වා, ආයුෂ්මතුන් වහන්සේලා විසින් මම අවවාද කටයුත්තෙක්මි” යි පවාරණය කෙරෙයිද, එහෙත් ඔහු දුර්වච බව ඇති කරන ධර්මයන්ගෙන් යුක්ත වූයේ, අවවාදය නොඉවසන්නේ, අනුශාසනාව නුහුරට ගන්නා වූ දුර්වචයෙකු වෙයිද, එකල්හි සබ්රහ්මචාරීන් වහන්සේලා ඔහු අවවාද කළ යුත්තෙකු කොට නොහඟිති, අනුශාසනා කළ යුත්තෙකු කොට නොහඟිති, ඒ පුද්ගලයා කෙරෙහි විශ්වාසය තැබිය යුත්තෙකු කොට නොහඟිති.'
2. ඇවැත්නි, දුර්වච බව කරන කරුණු කවරහුද?
ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම ලාමක අදහස් ඇත්තේ වෙයිද, ලාමක අදහස්වලට වසඟ වූයේ වෙයිද, ඇවැත්නි, මහණ තෙම ලාමක අදහස් ඇත්තේය, ලාමක අදහස්වලට වසඟ වූයේය යන යමක් වේද, මේ කාරණයද දුර්වච බව කරන්නකි. (1)
3. නැවතද ඇවැත්නි, මහණ තෙම තමා උසස් කොට සලකන්නේ වෙයිද අනුන්ට ගරහන්නේ වෙයිද, ඇවැත්නි, මහණ තෙම තමන් උසස් කොට සිතන්නේය, අනුන්ට ගරහන්නේය යන යමක් වේද, මේ කාරණයද දුර්වච බව කරන්නකි. (2)
4. නැවතද ඇවැත්නි, මහණතෙම ක්රෝධ කරන ස්වභාව ඇත්තේද, ක්රෝධයෙන් මඩනාලද සිත් ඇත්තේ වේද, ඇවැත්නි, මහණ තෙම ක්රෝධ කරන ස්වභාව ඇත්තේය, ක්රෝධයෙන් මඩනාලද සිත් ඇත්තේය යන යමක් වේද මේ කාරණයද දුර්වච බව කරන්නකි. (3)
5. නැවතද ඇවැත්නි, මහණතෙම ක්රෝධ කරන ස්වභාව ඇත්තේ ක්රෝධය හේතුකොටගෙන බද්ධ වෛර ඇත්තේ වේද, ඇවැත්නි, මහණ තෙම ක්රෝධ කරන ස්වභාව ඇත්තේ ක්රෝධය හේතුකොටගෙන බද්ධ වෛර ඇත්තේය යන යමක් වේද, මේ කාරණයද දුර්වච බව කරන්නකි. (4)
6. නැවතද ඇවැත්නි, මහණ තෙම ක්රෝධ කරන ස්වභාව ඇත්තේ ක්රෝධය හේතුකොටගෙන නපුරු ක්රියාවන්හි ඇලෙන්නේ වේද, ඇවැත්නි, මහණ තෙම ක්රෝධ කරන ස්වභාව ඇත්තේ, ක්රෝධය හේතුකොටගෙන නපුරු ක්රියාවන්හි ඇලෙන්නේය යන යමක් වේද මේ කාරණයද දුර්වච බව කරන්නකි. (5)
7. නැවතද ඇවැත්නි, මහණ තෙම ක්රෝධ කරන ස්වභාව ඇත්තේ වේද ක්රෝධයට කිට්ටු වචන කියන්නේ වේද, ඇවැත්නි, මහණ තෙම ක්රෝධ කරන ස්වභාව ඇත්තේ ක්රෝධයට කිට්ටු වචන කියන්නේය යන යමක් වේද මේ කාරණයද දුර්වච බව කරන්නකි. (6)
8. නැවතද ඇවැත්නි, චෝදනා කරන්නකු විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට ප්රතිවිරුද්ධව සිටීද, ඇවැත්නි, මහණ තෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට ප්රතිවිරුද්ධව සිටියි යන යමක් වේද මේ කාරණයද දුර්වච බව කරන්නකි. (7)
9. නැවතද ඇවැත්නි, මහණ තෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කරන තැනැත්තාට අවමන් කෙරේද, ඇවැත්නි, මහණ තෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට අවමන් කරයි යන යමක් වේද මේ කාරණයද දුර්වච බව කරන්නකි. (8)
10. නැවතද ඇවැත්නි, මහණතෙම චෝදනා කරන්නෙකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට (චෝදනා කළ තැනැත්තාට) චෝදනාව හරවයිද, ඇවැත්නි, මහණ තෙම චෝදනා කළ තැනැත්තා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට චෝදනාව හරවයි යන යමක් වේද මේ කාරණය දුර්වච බව කරන්නකි. (9)
11. නැවතද ඇවැත්නි, මහණ තෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ අනික් කථාවකින් අනික් කරුණක් වසාද, කථාව පිටතට නමාද කොපයද තරහයද නොසතුටද පහළ කරයිද, ඇවැත්නි, මහණ තෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ අනික් කථාවකින් අනික් කරුණක් වසයි, කථාව පිටතට නමයි කොපයද තරහයද නොසතුටද පහළ කරයි යන යමක් වේද මේ කාරණයද දුර්වච බව කරන්නකි. (10)
12. නැවතද ඇවැත්නි, මහණතෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ තමන්ගේ පැවැත්ම ප්රකාශ නොකරයිද, ඇවැත්නි, මහණතෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ තමන්ගේ පැවැත්ම ප්රකාශ නොකරයි යන යමක් වේද මේ කාරණයද දුර්වච බව කරන්නකි. (11)
13. නැවතද ඇවැත්නි, මහණ තෙම ගුණමකු වේද, යුගග්රාහ (ගුණ නැතිව සිටිමින් ගුණවතුන් හා තමා සමකර සලකන බව) ඇත්තේ වෙයිද, ඇවැත්නි, මහණතෙම ගුණමකු වේය, යුගග්රාහ ඇත්තේය යන යමක් වේද, මේ කාරණයද දුර්වච බව කරන්නකි. (12)
14. නැවතද ඇවැත්නි, මහණතෙම ඊර්ෂ්යා කරන්නේ වෙයිද මසුරු මලයෙන් යුක්ත වූයේ වෙයිද ඇවැත්නි, මහණ තෙම ඊර්ෂ්යා කරන්නේය, මසුරු මලින් යුක්ත වූයේය යන යමක් වේද මේ කාරණයද දුර්වච බව කරන්නකි. (13)
15. නැවතද ඇවැත්නි, මහණ තෙම කෛරාටික වේද, රැවටිලි ඇත්තේ වේද, ඇවැත්නි, මහණ තෙම කෛරාටික වෙයි, රැවටිලි ඇත්තේ වෙයි යන යමක් වේද මේ කාරණයද දුර්වච බව කරන්නේය. (14)
16. නැවතද ඇවැත්නි, මහණතෙම තදගති ඇත්තේවේද අධික මාන ඇත්තේ වේද ඇවැත්නි, මහණ තෙම තද ගති ඇත්තේය, අධික මාන ඇත්තේය යන යමක් වේද මේ කාරණය දුර්වච බව කරන්නකි. (15)
17. නැවතද ඇවැත්නි, මහණ තෙම තමාගේම ලබ්ධිය දැඩි වශයෙන් ගන්නේ එයින් දුකසේ බැහැර කරවිය යුතු වූයේ වෙයිද ඇවැත්නි, මහණ තෙම තමාගේම ලබ්ධිය දැඩි වශයෙන් ගන්නේ එයින් දුකසේ බැහැර කරවිය යුතුය යන යමක් වේද, මේ කාරණයද දුර්වච බව කරන්නකි. (16)