1. 2. 3.
මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක්කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනාථ පිණ්ඩික සිටුහු විසින් කරවා පූජාකරන ලද ජේතවන නම් ආරාමයෙහි වාසය කරති. එකල බොහෝ භික්ෂූහු පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පාත්‍රයද සිවුරුද ගෙන සැවැත්නුවර පිණ්ඩපාතය පිණිස ගියාහුය. එකල ඒ භික්ෂූන්ට මේ සිත ඇතිවිය. තවම සැවැත්නුවර පිණ්ඩපාතය පිණිස හැසිරෙන්ට කල් වැඩිය. යම් හෙයකින් අපි ‘අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ගේ ආරාමය යම් තැනකද එතනට පැමිණෙන්නෙමු නම් යහපතැයි කියායි.
2. එකල ඒ භික්ෂූහු අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ගේ ආරාමය යම් තැනකද එතනට පැමිණියාහුය. පැමිණ, ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටුවූවාහුය. සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක පැත්තක හුන්නාහුය. ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ එක පැත්තක හුන්නාවූ ඒ භික්ෂූන්ට මෙසේ කීවාහුය. “ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙම කාමයන්ගේ නැති කිරීම ප්‍රකාශ කරයි. අපිත් කාමයන්ගේ නැතිකිරීම ප්‍රකාශකරමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙම රූපයන්ගේ නැතිකිරීම ප්‍රකාශ කරයි. අපිත් රූපයන්ගේ නැතිකිරීම ප්‍රකාශ කරමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙම වේදනාවන්ගේ නැතිකිරීම ප්‍රකාශ කරයි. අපිත් වේදනාවන්ගේ නැතිකිරීම ප්‍රකාශ කරමු. ඇවැත්නි, මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ දේශනාවෙන් අපගේ දේශනාවෙහි හෝ අනුශාසනාවෙන් අපගේ අනුශාසනාවෙහි හෝ වෙනස කවරේද, වෙනස් අදහස කවරේද වෙනස් කාරණය කුමක්ද කියායි.
3. එවිට ඒ භික්ෂූහු ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ගේ වචනයට සතුටු නුවූහ, ඉවතද නොදැමූහ. සතුටුද නොවී, ඉවතද නොදමා භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ කථාවේ අර්ථය දැනගන්නෙමුයි හුන් ආසනයෙන් නැගිට පිටත්ව ගියාහුය.
4. එකල ඒ භික්ෂූහු සැවැත්නුවර පිණ්ඩපාතය පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩාපතයෙන් වැළකුනාහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකපැත්තක උන්නාහුය. එක පැත්තක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ දැන්නුවෝය. “ස්වාමීනි, මේ දවසෙහි අපි පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පාත්‍රාද සිවුරුද ගෙන සැවැත්නුවර පිණ්ඩපාතය පිණිස ගියෙමු. ස්වාමීනි, එකල අපට මේ සිත ඇතිවිය. තවම සැවැත්නුවර පිණ්ඩපාතය පිණිස හැසිරෙන්ට කල් වැඩිය. යම්හෙයකින් අපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ගේ ආරාමය යම් තැනකද එතනට පැමිණෙන්නෙමු නම් යහපතැයි’ කියායි. එකල අපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ගේ ආරාමය යම් තැනකද එතනට පැමිණියෙමු. පැමිණ ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටු වුනෙමු. සතුටු විය යුතුවූ සිහිකටයුතුවූ කථා කොට නිමවා එක පැත්තක උන්නෙමු. ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ එක පැත්තක උන්නාවූ අපට මෙසේ කීවාහුය. “ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙම. කාමයන්ගේ නැතිකිරීම ප්‍රකාශකරයි, අපිත් කාමයන්ගේ නැතිකිරීම ප්‍රකාශකරමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙම රූපයන්ගේ නැතිකිරීම ප්‍රකාශකරයි, අපිත් රූපයන්ගේ නැතිකිරීම ප්‍රකාශ කරමු. –
ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙම වේදනාවන්ගේ නැතිකිරීම ප්‍රකාශකරයි, අපිත් වේදනාවන්ගේ නැතිකිරීම ප්‍රකාශකරමු, ඇවැත්නි, මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ දේශනාවෙන් අපගේ ධර්මදේශනාවෙහි හෝ අනුශාසනාවෙන් අපගේ අනුශාසනාවෙහි හෝ වෙනස කවරේද? වෙනස් අදහස කවරේද? වෙනස් කාරණය කුමක්ද? කියායි. ස්වාමීනි අප එකල්හි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ගේ කියමන සතුටින් පිළිගැනීමද නොකෙළෙමු. ඉවතද නොදැමීමු. සතුටුද නොවී ඉවතද නොදමා හුන් ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ කියමනේ අර්ථය දැනගන්නෙමුයි පිටත්ව ගියෙමු.
5. මහණෙනි, මෙසේ කියන්නාවූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ කියයුතු වන්නේය. (කෙසේද?) ඇවැත්නි, කාමයන්ගේ සැපය කවරේද? දෝෂය කවරේද? නික්මීම කවරේද? රූපයන්ගේ සැපය කවරේද? දෝෂය කවරේද? නික්මීම කවරේද? වේදනාවන්ගේ සැපය කවරේද? දෝෂය කවරේද? නික්මීම කවරේද? මහණෙනි, මෙසේ විචාරණ ලද්දාවූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ සම්පූර්ණ කොට නොකියන්නාහ. මත්තෙහිද දුකට පැමිණෙන්නාහ. ඊට හේතු කවරේද? මහණෙනි, නොවැටහෙන දෙයෙහි ඒ එසේමය. මහණෙනි, තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ මේ ශාසනයෙන් ඇසුවෙකු හෝ හැර, යමෙක් මේ ප්‍රශ්නය විසඳීමෙන් සිත සතුටු කරන්නේද, එබඳු කෙනෙකු දෙවියන් සහිතවූ මරුන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ ලෝකයෙහි දෙවි මිනිසුන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ ප්‍රජාවෙහි ඇති බව නුවණින් නොම දකිමි.
6. මහණෙනි, කාමයන්ගේ සැපය කවරේද? මහණෙනි, කාමගුණයෝ මේ පසකි. කවර පසක්දයත්? චක්ඛු විඤ්ඤාණයෙන් දත යුතුවූ, යහපත්වූ, සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ ආශාව ඉපදීමට කරුණුවූ රූපයෝද, සොත විඤ්ඤාණයෙන් දත යුතුවූ ශබ්දයෝද, ඝාණවිඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්ධයෝද, ජිව්හාවිඤ්ඤාණයෙන් දතයුතුවූ රසයෝද, කාය විඤ්ඤාණයෙන් දත යුතුවූ ස්පර්ශයෝද යන මොහු කාම ගුණ පසයි. මහණෙනි, මේ පංචකාම ගුණයන් නිසා යම් සැපයක් සොම්නසක් උපදියිද, මෙය කාමයන්ගේ සැපය වන්නේය.
7. මහණෙනි, කාමයන්ගේ දෝෂය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම යම්කිසි ශිල්පයකින් ජීවත් වෙයිද, එනම් රේඛා ශාස්ත්‍ර කීමෙන්, ගණන් තැබීමෙන් සංඛ්‍යාලේඛන ගැනීමෙන්, ගොවිකමින්, වෙළඳාමෙන්, ගව පාලනයෙන්, දුනු ශිල්පයෙන්, රාජ භටයෙකු වීමෙන්, මෙයින් අන්‍යවූ යම්කිසි ශිල්පයකින්ද, සීතලෙන් පෙළනු ලබන්නේ, උෂ්ණයෙන් පෙළනු ලබන්නේ, ඩැහැ ලේ බොන මැස්සන්, මදුරුවන්, සුළඟ, අව්ව, සර්පයන් යන මොවුන්ගේ ස්පර්ශයෙන් ගැටෙමින්, බඩගින්නෙන් හා පිපාසයෙන් මිරිකෙමින් ජීවිතය පවත්වයිද, මහණෙනි, මෙයද කාමය හේතුකොට ගෙන, කාමය මුල් කරුණ කොට ගෙන, කාමය කරණකොට ගෙන, කාමය නිසා මෙලොවම වින්ද යුතුවූ ආදීනව රාශිය, දුක් රාශිය වන්නේය.