1. 2. 2.
මහා සීහනාද සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර නගරයෙන් පිටත බටහිර පැත්තේ පිහිටි වන ලැහැබෙහි වාසය කළහ. එකල්හි සුනක්ඛත්ත නම් ලිච්ඡවිපුත්‍ර තෙමේ මේ ශාසනයෙන් ඉවත්ව ගොස් නොබෝ කල් ඇත්තේ වෙයි. හෙතෙමේ විශාලා මහනුවර පිරිස්වල මෙබඳු වචන කියයි: 'ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩි වූ, ආර්ය භාවයක් ඇති කිරීමට සමර්ථ විශේෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතම තෙමේ කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නා වූ ධර්මයක් දේශනා කරයි. යම් අර්ථයක් සඳහා ධර්මය දේශනා කරන ලද්දේද, ඒ ධර්මය තෙමේ ඊට අනුව ක්‍රියා කරන්නාහුගේ දුක් මනා කොට විනාශ කිරීම පිණිස පවතී' (කියාය).
2. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පාත්‍රා සිවුරු ගෙන විශාලා මහනුවරට පිඩු පිණිස පැමිණියෝය. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍රයා විශාලා මහනුවර පිරිස් මැද මෙසේ වචනයක් කියනු අසන්ට ලැබුණේය: 'ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩි වූ ආර්ය භාවයක් ඇති කිරීමට සමර්ථ විශේෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතම තෙමේ කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නා වූ ධර්මයක් දේශනා කරයි. ඔහු විසින් යම් ප්‍රයෝජනයක් සඳහා ධර්මය දේශනා කරන ලද්දේද ඒ ධර්මය තෙමේ ඊට අනුව ක්‍රියාකරන්නාහුගේ දුක් මනා කොට විනාශ කිරීම පිණිස පවතී' යනුයි.
3. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විශාලා මහනුවර පිඩු පිණිස හැසිර බතින් පසු පිණ්ඩපාතයෙන් වැළකුණේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක වාඩි විය. එක පැත්තක උන්නා වූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළේය: 'ස්වාමීනි, සුනක්ඛත්ත නම් ලිච්ඡවි පුත්‍ර තෙමේ මේ ශාසනයෙන් ඉවත්ව ගිය නොබෝ කල් ඇත්තේ වෙයි. හෙතෙමේ විශාලා මහනුවර පිරිස් මැද මෙබඳු වචන කියයි: 'ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩි වූ, ආර්යභාවයක් ඇති කිරීමට සමර්ථ විශේෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතම තෙමේ කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නා වූ ධර්මයක් දේශනා කරයි. ඒ ශ්‍රමණ ගෞතමයන් විසින් යමක් සඳහා ධර්මය දේශනා කරන ලද්දේද ඒ ධර්මය තෙමේ ඊට අනුව ක්‍රියා කරන්නාහුගේ දුක් මනා කොට විනාශ කිරීම පිණිස පවතී' (කියායි).
4. “ශාරීපුත්‍රය, සුනක්ඛත්ත හිස් පුරුෂ තෙමේ කෝපවන්නෙකි. ඔහු විසින් ක්‍රෝධයෙන්ම මේ වචන කියන ලදී: 'අගුණයක් කියන්නෙමි' කියාය. ශාරීපුත්‍රය, ඒ සුනක්ඛත්ත නම් හිස් පුරුෂ තෙමේ තථාගතයන්ගේ ගුණයක්ම කියයි. ශාරීපුත්‍රය, 'තථාගතයන් විසින් යම් අර්ථයක් සඳහා ධර්මය දේශනා කරන ලද්දේද ඒ ධර්මය තෙමේ ඊට අනුව ක්‍රියා කරන්නාහුගේ දුක් මනා කොට විනාශ කිරීම පිණිස පවතී' යයි යමෙක් කියා නම් එය තථාගතයන්ගේ ගුණයක්මය.
5. “ශාරීපුත්‍රය, සුනක්ඛත්ත නම් වූ ඒ හිස් පුරුෂයාට මා පිළිබඳ ධර්මාවබෝධයක් නැත්තේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් ද අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, විද්‍යාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, අනුත්තර පුරිසදම්මසාරථිය, දෙවි මිනිසුන්ගේ ශාස්තෘවරයාය, බුද්ධය, භාග්‍යවත්ය (කියායි).
6. “ශාරීපුත්‍රය, සුනක්ඛත්ත නම් ඒ හිස් පුරුෂයාට මා පිළිබඳ වූ මේ ධර්මාවබෝධය ද නැත්තේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ද නොයෙක් ආකාර වූ සෘද්ධි විධි විශේෂයෙන් විඳින්නාහ. කෙසේද? එක් කෙනෙක්ව බොහෝ දෙනෙක් වන්නාහ. බොහෝ දෙනෙක්ව එක් කෙනෙක් වන්නාහ. ප්‍රකට බවට ද, අප්‍රකට බවට ද පැමිණෙන්නාහ. භිත්ති හරහා ද, ප්‍රාකාර හරහා ද, පර්වත හරහා ද අහසේ යම් සේද එසේ නොගැටෙමින් ගමන් කරන්නාහ. දියෙහි මෙන් පොළොවෙහි ද කිමිදීම් මතුවීම් කරන්නාහ. පොළොවෙහි මෙන් ජලයෙහි ද නොකිමිඳෙමින් යන්නාහ. පක්ෂියෙක් මෙන් අහසෙහි පළඟින් හිඳගෙනම යන්නාහ. මහත් සෘද්ධි ඇති මේ සඳ හිරු දෙදෙන ද අතින් අල්ලන්නාහ, අතගාන්නාහ. බ්‍රහ්ම ලෝකය දක්වා ශරීරයෙන් තමන්ගේ වසඟයෙහි පවත්වන්නාහ.