1. 2. 1.
චූල සීහනාද සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනාථපිණ්ඩික සිටුහු විසින් කරවන ලද ජේතවන නම් විහාරයෙහි වැඩවාසය කරති. එකල භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
2. මහණෙනි, පළමුවැනි (සෝවාන්) ශ්‍රමණ තෙමේද මේ ශාසනයෙහිම ඇත්තේය. දෙවැනි (සකෘදාගාමි) ශ්‍රමණ තෙමේද මේ ශාසනයෙහිම ඇත්තේය. තුන්වැනි (අනාගාමි) ශ්‍රමණ තෙමේද මේ ශාසනයෙහිම ඇත්තේය. සතරවැනි (රහත්) ශ්‍රමණ තෙමේද මේ ශාසනයෙහිම ඇත්තේය. මෙයින් අන්‍ය වූ වාදයෝ ශ්‍රමණයන්ගෙන් හිස්ය. මහණෙනි, මෙසේ මේ සිංහනාදය මනාකොට නාද කරව්. මහණෙනි, මේ කාරණයක් ඇත්තේය. අන්‍යලබ්ධික පරිබ්‍රාජකයන් මෙසේ කියන්නට පුළුවන. ‘පළමුවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, දෙවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, තුන්වැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, සතරවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, අන්‍ය වූ වාදයෝ ශ්‍රමණයන්ගෙන් හිස්ය’යි ආයුෂ්මත්වූ තෙපි කියන්නාහුය. මෙසේ කීමට ආයුෂ්මතුන්හට ඇති පිහිට කවරේද? බලය කුමක්ද? යම් කරුණක් නිසා ආයුෂ්මතුන් මෙසේ කියන්නාහුද? ‘ඉධෙව සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්ථො සමණො. සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙ’ති (පළමුවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, දෙවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, තුන්වැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, සතරවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය. අන්‍ය වාද ශ්‍රමණයන්ගෙන් හිස්ය) කියායි.
3. මහණෙනි, මෙසේ කියන්නා වූ අන්‍යලබ්ධික පරිබ්‍රාජකයන්හට තොප විසින් මෙසේ කියයුතුය. ‘ඇවැත්නි, සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ, අර්හත් වූ, සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ධර්ම සතරක් ඇත්තාහුමය. ඒ ධර්ම සතර අප කෙරෙහි ඇති බව දකිමින් අපි ‘පළමුවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, දෙවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, තුන්වැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, හතරවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, අන්‍ය වූ වාදයෝ ශ්‍රමණයන්ගෙන් සූන්‍යය’යි කියමු. කවර සතරක්ද යත්? ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ කෙරෙහි අපගේ පැහැදීම ඇත්තේමය. ධර්මයෙහි පැහැදීම ඇත්තේමය. සීලයන් සම්පූර්ණ කරන බව ඇත්තේමය. ගිහිවූද, පැවිදිවූද මේ සියලුදෙන එක්ව ධර්මයෙහි හැසිරෙන්නාහු (සහධම්මිකයෝ) අපට ප්‍රිය වෙත්, මනාප වෙත්. ඇවැත්නි, සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ, අර්හත් වූ, සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මේ ධර්ම සතර ඇත්තාහුමය, යම් ධර්ම සතරක් අප කෙරෙහි ඇති බව දකිමින් අපි ‘පළමුවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, දෙවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, තුන්වැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, හතරවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය. අන්‍ය වූ වාදයෝ ශ්‍රමණයන්ගෙන් සූන්‍යය’යි කියමු.
4. මහණෙනි, මේ කාරණය විද්‍යමාන වන්නේය, යම් අන්‍යලබ්ධික පරිබ්‍රාජකයන් මෙසේ කියන්නට පුළුවන. ‘ඇවැත්නි, යම් කෙනෙක් අපගේ ශාස්තෘද, ඒ ශාස්තෲන් කෙරෙහි අපගේද පැහැදීම ඇත. යමක් අපගේ ධර්මයද, ඒ ධර්මයෙහි අපගේද පැහැදීම ඇත. අපගේ යම් සීලයන් වෙත්ද, ඒ සීලයන් අපිත් සම්පූර්ණ කරන්නෙමු. අපගේද සහධම්මිකයෝ (එක්ව ධර්මයෙහි හැසිරෙන්නෝ) ගිහියෝද පැවිද්දෝද ප්‍රියවෙත්, මනාප වෙත්. ඇවැත්නි, මෙහිලා තොපගේද අපගේද වෙනස කවරේද? අදහස කවරේද? වෙනස් කාරණය කුමක්ද, එනම් තොපගේත් අපගේත්?’ (යි) කියන්නාහුය.
5. මහණෙනි, මෙසේ කියන්නා වූ අන්‍ය ලබ්ධික පරිබ්‍රාජකයන්හට මෙසේ කියයුතුය. ‘ඇවැත්නි, කිමෙක්ද? නිෂ්ඨාව එකක්ද, නැතහොත් බොහෝ නිෂ්ඨාවන්දැයි?’ මහණෙනි, මනාකොට පිළිතුරු දෙන අන්‍යලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ පිළිතුරු දෙන්නාහ. ‘ඇවැත්නි, නිෂ්ඨාව එකක්මය, බොහෝ නිෂ්ඨාවන් නොවේය’යි.
6. ඇවැත්නි, ඒ නිෂ්ඨාව රාග සහිත පුද්ගලයාටද? නැතහොත් වීතරාගී (රාගය පහකළ) පුද්ගලයාටද? මහණෙනි, මනාකොට පිළිතුරු දෙන අන්‍ය ලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ පිළිතුරු දෙන්නාහ. ‘ඇවැත්නි, ඒ නිෂ්ඨාව වීතරාගී පුද්ගලයාටය, රාග සහිත පුද්ගලයාට ඒ නිෂ්ඨාව නොවේය’යි.
ඇවැත්නි, ඒ නිෂ්ඨාව ද්වේෂ සහිත පුද්ගලයාටද? නැතහොත් වීතදෝෂී (ද්වේෂය පහකළ) පුද්ගලයාටද? මහණෙනි, මනාකොට පිළිතුරු දෙන අන්‍ය ලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ පිළිතුරු දෙන්නාහ. ‘ඇවැත්නි, ඒ නිෂ්ඨාව වීතදෝෂී පුද්ගලයාටය, ද්වේෂ සහිත පුද්ගලයාට ඒ නිෂ්ඨාව නොවේය’යි.