1. 1. 9.
සම්මා දිට්ඨි සූත්‍රය
1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත්නුවර සමීපයෙහි අනාථපිණ්ඩික සිටුහුවිසින් කරවන ලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි’ කියා භික්ෂූන්ට කථා කළහ. ඒ භික්ෂූහු ‘ඇවැත්නි’යි කියා ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළේය:
2. “ඇවැත්නි, සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක්දෘෂ්ටිය (හරිදැකීම) යයිකියනු ලැබේ; ඇවැත්නි, ආර්යශ්‍රාවකතෙම කොපමණකින් සම්‍යක්දෘෂ්ටි ඇත්තේවේද? දෘෂ්ටිය සෘජු බවට පැමිණියාවේද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වේද?”
3. “ඇවැත්නි, අපි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මේ කීමෙහි අර්ථය දැනගන්නට දුරසිටත් එන්නෙමු. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේටම මේ කීමෙහි අර්ථය ප්‍රකාශ කිරීම අයත්වේවා, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් අසා භික්ෂූහු දැනගන්නාහුය. ‘ඇවැත්නි, එසේවී නම් අසව් හොඳින් හිතේ තබාගනිව් කියන්නෙමි’ ‘එසේය ඇවැත්නි, ‘කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ:
4. “ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම අකුසලයත් දනීද අකුසලමූලයන් දනීද කුසලයත් දනීද කුසල මූලයත් දනීද ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයි ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට ගියා වෙයි ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.”
5. “ඇවැත්නි, අකුසලය කවරේද? අකුසලමූලය කවරේද? කුසලය කවරේද? කුසලමූලය කවරේද?”
6. “ඇවැත්නි, ප්‍රාණ ඝාතය අකුසල්ය, සොරකම් කිරීම අකුසල්ය, කාමයන්හි වරදවා හැසිරීම අකුසල්ය, බොරුකීම අකුසල්ය, කේලාම් කීම් අකුසල්ය, ඵරුෂවචන කීම අකුසල්ය, නිෂ්ඵල කථාකීම අකුසල්ය, අධික ලෝභය අකුසල්ය, බලවත් ක්‍රෝධය අකුසල්ය, වැරදි දෘෂ්ටිය අකුසල්ය. ඇවැත්නි, මේ අකුසලයයි කියනු ලැබේ.”
7. “ඇවැත්නි, අකුසලමුලය කවරේද? ලෝභය අකුසල් මූලයි, ද්වේෂය අකුසල්මූලයි, මෝහය අකුසල්මූලයි, ඇවැත්නි, මේ අකුසල් මුල්යයි කියනු ලැබේ.”
8. “ඇවැත්නි, කුසලය කවරේද? ප්‍රාණඝාතයෙන් වැළැක්ම කුසල්ය, සොරකම් කිරීමෙන් වැළැක්ම කුසල්ය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළැක්ම කුසල්ය, බොරු කීමෙන් වෙන්වීම කුසල්ය, කේළාම් කීමෙන් වෙන්වීම කුසල්ය, ඵරුෂ වචනයෙන් වෙන්වීම කුසල්ය, හිස් වචනයෙන් වෙන්වීම කුසල්ය අධික ලෝභය නැතිබව කුසල්ය, ව්‍යාපාද නැති බව කුසල්ය, නිවැරදි දැකීම කුසල්ය. ඇවැත්නි, මේ කුසලයයි කියනු ලැබේ.”
9. “ඇවැත්නි, කුසල් මුල් කවරේද? අලෝභය කුසල් මුලයි, අද්වේෂය කුසල් මුලයි, අමෝහය කුසල් මුලයි. ඇවැත්නි, මේ කුසල මුල්යයි කියනු ලැබේ.”
10. “ඇවැත්නි, යම්තැනක පටන් ආර්යශ්‍රාවකතෙම මෙසේ අකුසලය දනීද, මෙසේ අකුසල්මුල් දනීද, මෙසේ කුසලය දනීද, මෙසේ කුසල්මුල් දනීද. හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගානුසය (රාගය) දුරුකොට, පටිඝානුසය (ක්‍රෝධය) දුරුකොට, ‘මම වෙමි’ යන දෘෂ්ටිමානානුසය (දැකීම හා මානය) නසා, අවිද්‍යාව දුරුකොට, විද්‍යාව උපදවා, මේ ජාතියෙහිදීම දුක් කෙළවර කරන්නන් වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.”
[1. කර්මපථ වාරයයි.]
11. “සාධු ඇවැත්නි” යි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන අනුමෝදන්ව ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් ඇසුවාහුය: “ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?”
12. “ඇවැත්නි, ඇත්තේය, යම්තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම ආහාරය දනීද, ආහාරයාගේ හේතුව දනීද, ආහාරයාගේ නැතිකිරීම දනීද, ආහාර නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාව දනීද මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි, ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.”
13. “ඇවැත්නි, ආහාරය කවරේද? ආහාරයාගේ හේතුව කවරේද? ආහාරයාගේ නැතිකිරීම කවරේද? ආහාර නැති කිරීමේ ප්‍රතිපදාව කවරේද?”
14. “ඇවැත්නි, සත්ත්වයන්ගේ පැවැත්ම පිණිසද, සත්ත්වයන්ට අනුග්‍රහ පිණිසද පවත්නාවූ ආහාර සතරක් වෙත්. කවර සතරක්ද යත්? ඝනවූද සියුම් වූද කබලිංකාර ආහාරය (කන බොන ආහාරය) ද, දෙවෙනිවූ ස්පර්ශ ආහාරය (විඳීමට හේතු වන්නාවූ සිතත් අරමුණත් ගැටීම) ද, තුන්වැනිවූ මනොසංචෙතනා ආහාරය (උත්පත්තියට හේතුවන කර්මය) ද, සතරවැනිවූ විඤ්ඤාණ ආහාරය (නාම රූපයන්ගේ පැවැත්මට හේතුවූ විඤ්ඤාණය) ද යන සතරය. තෘෂ්ණාවගේ හටගැන්ම නිසා ආහාරයෙන් හටගැන්ම වේ. තෘෂ්ණාව නැතිකිරීමෙන් ආහාරයාගේ නැතිකිරීම වෙයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ආහාර නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරැදි වචනය, නිවරැදි කර්මාන්තය, නිවැරැදි ක්‍රියාව, නිවැරැදි ව්‍යායාමය, නිවැරැදි සිහිය, නිවැරැදි සමාධිය යන මේයි.”