1. 1. 10.
සතිපට්ඨාන සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කල්මාසදම්ය නම්වූ කුරු රට වැස්සන්ගේ නියම් ගම වාසය කරති. එකල්හි භාග්යවතුන් වහන්සේ භික්ෂූන්ට, “මහණෙනි”යි කථා කළෝය. භික්ෂූහු “ස්වාමීන් වහන්සැ”යි භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙසේ දේශනා කළාහුය:
2. මහණෙනි, යම් මේ සතර සතිපට්ඨාන ධර්ම කෙතෙක් ඇද්ද ඒ සතර සතිපට්ඨාන ධර්මයෝ සත්ත්වයන්ගේ පිරිසිදුවීම පිණිසද, සෝක කිරීමය, වැළපීමය යනාදීන්ගේ ඉක්මවීම පිණිසද, කයෙහි හටගන්නා දුක්ය. සිතෙහි හටගන්නා දුක්ය, යන මොවුන්ගේ දුරලීම පිණිසද ඤාය නම් ලද ආර්ය මාර්ගයට පැමිණීම පිණිසද නිර්වාණය අවබෝධ කිරීම පිණිසද එකම මාර්ගය වන්නේය - එනම් සතර සතිපට්ඨානයයි. කවර සතරක්ද?
මහණෙනි, මේ සස්නෙහි මහණ තෙම කෙලෙස් තවන වීර්ය ඇතුව යහපත් ප්රඥා ඇතුව, සිහියෙන් යුක්තව මේ ශරීරයෙහි ලෝභයද, ක්රෝධයද සිංසිඳුවාගෙන, මේ ශරීරයෙහි ශරීරය අනුව දක්නා ස්වභාව ඇතිව වාසය කෙරේද, කෙලෙස් තවන වීර්ය ඇතුව, යහපත් ප්රඥා ඇතුව සිහි ඇතුව විඳීම් රාශියෙහි, ලෝභය හා දොම්නස (ක්රෝධය) සංසිඳුවාගෙන විඳීම් කෙරෙහි විඳීම් අනුව දක්නා ස්වභාව ඇතිව වාසයකෙරේද, කෙලෙසුන් තවන වීර්ය ඇතුව යහපත් ප්රඥා ඇතුව සිහි ඇතුව සිත් සමූහයෙහි ලෝභය හා දොම්නස (ක්රෝධය) සංසිඳුවාගෙන සිත් කෙරෙහි සිත් අනුව දක්නා ස්වභාව ඇතිව වාසය කෙරේද, කෙලෙසුන් තවන වීර්ය ඇතිව, සිහි ඇතිව යහපත් ප්රඥා ඇතිව, නීවරණාදී ධර්ම රාශියෙහි ලෝභය හා දොම්නස (ක්රෝධය) සංසිඳුවාගෙන නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව සිහි කරමින් වාසය කෙරේද.
[උද්දෙසවාරයයි.]
(1. කායානුපස්සනාසතිපට්ඨානං:)
මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේද?
1. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කැලයකට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්යංකය බැඳ (අරමිනිය ගොතා ගෙන) ශරීරය කෙළින් පිහිටුවා ගෙන සිහිය ඉදිරිපත් කොට තබා ගෙන හිඳිනේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය, සිහියෙන්ම ප්රශ්වාස කරන්නේය, දීර්ඝ කොට (කල් ගනිමින් හෙමින් හෙමින්) ආශ්වාස කරන්නේ හෝ ‘දීර්ඝ කොට (කල් ගනිමින්) ආශ්වාස කරන්නෙමියි’ දන්නේය. දීර්ඝ කොට ප්රශ්වාස කරන්නේ හෝ ‘දීර්ඝ කොට ප්රශ්වාස කරන්නෙමියි දන්නේය. ලුහුඬු කොට (ඉක්මණින්) ආශ්වාස කරන්නේ හෝ ‘ලුහුඬු කොට ආශ්වාස කරන්නෙමියි’ දන්නේය. ලුහුඬු කොට ප්රශ්වාස කරන්නේ හෝ ‘ලුහුඬු කොට ප්රශ්වාස කරන්නෙමියි’ දන්නේය. මුල මැද අග යන සියලු ආශ්වාසය ප්රකට කරගන්නෙමියි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. මුල මැද අග යන සියලු ප්රශ්වාසය දැන ප්රකට කරගන්නෙමියි යන අදහසින් ප්රශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. ආශ්වාස ප්රශ්වාසයන් සංසිඳුවමි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. ආශ්වාස ප්රශ්වාස සංසිඳුවමි යන අදහසින් ප්රශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය.
මහණෙනි, දක්ෂවූ ලියන වඩුවෙක් හෝ ලියන වඩුවෙකුගේ අතවැස්සෙක් හෝ දික් කොට අදින්නේ හෝ දික් කොට අදින්නෙමියි කියා යම්සේ දනීද, ලුහුඬුව අදින්නේ හෝ එසේ ලුහුඬු කොට අදින්නෙමියි කියා යම්සේ දනීද, එපරිද්දෙන්ම මහණෙනි, මහණ තෙමේ දීර්ඝ කොට ආශ්වාස කරන්නේ හෝ දීර්ඝ කොට ආශ්වාස කරන්නෙමියි දන්නේය. -පෙ- ආශ්වාස ප්රශ්වාස සංසිඳුවමි යන අදහසින් ප්රශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. මෙසේ තමාගේ (ආශ්වාස ප්රශ්වාස) ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ආශ්වාස ප්රශ්වාස ශරීරයෙහි හෝ (ආශ්වාස ප්රශ්වාස) ශරීරය අනුව නුවණින් බලමින් වාසය කරන්නේය. අනුන්ගේ හා තමන්ගේ (ආශ්වාස ප්රශ්වාස) ශරීරයෙහි හෝ (ආශ්වාස ප්රශ්වාස) ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ආශ්වාස ප්රශ්වාසයන්ගේ හටගැනීම බලමින් හෝ වාසය කරන්නේය. ආශ්වාස ප්රශ්වාසයන්ගේ නැතිවීම බලමින් හෝ වාසය කරන්නේය. කලෙක හටගැනීම, කලෙක විනාශය බලමින් හෝ වාසය කරන්නේය. මොහුට සත්ව පුද්ගල නොවූ ආශ්වාස ප්රශ්වාස කය පමණක් ඇත්තේය යන සිහිය එළඹ සිටියා වෙයි. එය ඥානය වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද වෙයි. තණ්හා දෘෂ්ටි දෙකින් දුරුව වසන්නේද වේ. එහෙයින් සත්ව ලෝකයෙහි, කිසි රූපාදියක් (ආත්මාදි වශයෙන්) නොගන්නේය. මහණෙනි, මෙසේද මහණතෙම ශරීරයෙහි, ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
[1. ආනාපානපබ්බයයි.]
2. මහණෙනි, නැවතද මහණ තෙම යන්නේ හෝ යන්නෙමියි දන්නේය. සිටියෝ හෝ සිටියෙමියි දන්නේය. හුන්නේ හෝ හුන්නෙමියි දන්නේය. ශයනය කරන්නේ හෝ ශයනය කරන්නෙමියි දන්නේය. ඔහුගේ කය වනාහි යම් යම් ඉරියව්වකින් පිහිටුවනලදද ඒ ඒ ආකාරයෙන් දන්නේය. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි හටගන්නා ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි හටගන්නා ස්වභාව හා කලෙක විනාශවීම් ස්වභාව දන්නේ හෝ වාසය කරන්නේය. ඒ භික්ෂුවට වනාහි (සත්වයෙක් පුද්ගලයෙක් නොවූ) ශරීර ඉරියව් පමණක් ඇත්තේය, කියා සිහිය එළඹසිටියේ වෙයි. එය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද වෙයි. තණ්හා දෘෂ්ටි දෙකින් (දුරුව) වාසය කරන්නේය. මේ සත්ව ලෝකයෙහි කිසි රූපාදියක් (ආත්මාදි වශයෙන්) නොගනියි මහණෙනි, භික්ෂු තෙම මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
[2. ඉරියාපථපබ්බයයි.]
3. මහණෙනි, නැවතද මහණ තෙමේ ඉදිරියට යාමෙහිද ආපසු ඊමෙහිද සිහියෙන් දැන කරන්නේ වෙයි. ඉදිරිපිට බැලීමෙහිද සරස බැලීමෙහිද ප්රඥාවෙන් දැන කරන්නේ වෙයි. අත් පා හැකිලීමෙහිද දිගු කිරීමෙහිද ප්රඥාවෙන් දැන කරන්නේය. දෙපට සිවුරු පාත්රා සිවුරු දැරීමෙහිද ප්රඥාවෙන් දැන දරන්නේය. අනුභව කිරීමෙහිද පානය කිරීමෙහිද, කඩාකෑමෙහිද රස බැලීමෙහිද නුවණින් දැන කරන්නේය. මළමුත්ර පහකිරීමෙහිද නුවණින් දැන කරන්නේය. යාමෙහිද, සිටීමෙහිද, හිඳීමෙහිද, නිදීමෙහිද, නිදි දුරුකිරීමෙහිද, කථා කිරීමෙහිද, කථා නොකිරීමෙහිද, ප්රඥාවෙන් දැන ඒ ඒ කෘත්ය පවත්වන්නේ මෙසේ තමාගේ ශරීරයෙහි හෝ කය අනුව බලමින් වාසය කරන්නේය -පෙ- මහණෙනි, භික්ෂුව මෙසේද මේ කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේය.
[3. සම්පජඤ්ඤපබ්බයයි.]