1. 1. 8.
සල්ලේඛ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනාථ පිණ්ඩික සිටුහු විසින් කරවනලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේක සුවයෙන් නැගීසිටියේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණියහ, පැමිණ, භාග්‍යවතුන්වහන්සේට වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය:
2. “ස්වාමීනි, ආත්මවාදයෙන් යුක්තවූද, ලොකවාදයෙන් යුක්තවූද නොයෙක් ආකාරවූ යම් ඒ මිථ්‍යාදෘෂ්ටීහු (වැරදි දැකීම්) ලෝකයෙහි උපදිත්ද ස්වාමීනි, පළමුකොටම (විදර්ශනා මිශ්‍රභාවනා) මෙනෙහි කරන්නාවූ මහණහට ඒ දෘෂ්ටීන්ගේ නැතිකිරීම වෙයිද? ඒ දෘෂ්ටීන්ගේ දුරලීම් වෙයිද?
“චුන්දය, ආත්මවාදයෙන් යුක්තවූද ලොකවාදයෙන් යුක්තවූද නොයෙක් ආකාරවූ යම් ඒ මිථ්‍යාදෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්ද යම් පඤ්චස්කන්ධයක මේ දෘෂ්ටිහු උපදිත්ද, යම් පඤ්චස්කන්ධයක සයනය කරද්ද යම් පඤ්චස්කන්ධයක ද්වාර ඉක්මවීම් වශයෙන් හැසිරෙද්ද, ඒ මේ පඤ්චස්කන්ධය මාගේ නොවෙයි. මේ පඤ්චස්කන්ධය මම නොවෙමි, මේ පඤ්චස්කන්ධය මාගේ ආත්මය නොවෙයි, කියා මෙසේ මෙය තතුසේ යහපත් නුවණින් දක්නහුට මෙසේ මේ දෘෂ්ටීන්ගේ නැති කිරීම වෙයි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුරලීම වෙයි.”
3. “චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් ශාසනයෙහි ඇතැම් මහණෙක් කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරන්නේද ඕහට සල්ලේඛයෙන් (කෙලෙස් කැපීමෙන්) යුක්තව වාසයකරමි යන මෙබඳු සිතක් වන්නේය. චුන්දය, මේ ධ්‍යානයෝ ආර්යශාසනයෙහි (ශාසනයෙහි) සල්ලේඛයෝයි කියනු නොලැබෙත්. මොහු ආර්ය ශාසනයෙහි මෙලොව සැප වාසයෝයයි කියනු ලැබෙත්.
4. “චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් අභ්‍යන්තරය පැහැදීම ඇති, හිතේ එකඟබව ඇති විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරන්නේද ඕහට මෙසේ සිතක් වන්නේය. සල්ලේඛයෙන් වාසය කරමි (කියායි) චුන්දය, මොහු ආර්ය ශාසනයෙහි සල්ලේඛයෝයයි කියනු නොලැබෙත්. මොහු ආර්ය ශාසනයෙහි මෙලොව සැප වාසයෝයයි කියනු ලැබෙත්.
5. “චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් මෙහි ඇතැම් මහණෙක් ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරයිද සිහියෙන් යුක්තවූයේ නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද, ආර්යයෝ යම් ඒ තෘතීය ධ්‍යානයක් උපෙක්ෂා ඇති සිහි ඇති සැප විහරණ ඇත්තේයයි කියත්ද ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරන්නේද, ඕහට මෙසේ සිතක් වන්නේය, සල්ලේඛයෙන් වාසය කරමි (කියායි) චුන්දය, මොහු ආර්යශාසනයෙහි සල්ලේඛයෝයයි කියනු නොලැබෙත්. මොහු ආර්ය ශාසනයෙහි මෙලොව සැප වාසයෝයි කියනු ලැබෙත්.
6. “චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් මෙහි ඇතැම් මහණෙක් සැපය දුරුකිරීමෙන්ද දුක දුරුකිරීමෙන්ද, පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් නිදුක්වූ නොසැපවූ උපේක්ෂා ස්මෘති පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරන්නේද, ඕහට මෙසේ සිතක් වන්නේය. සල්ලේඛයෙන් වාසයකරමි (කියායි) චුන්දය, මොහු ආර්ය ශාසනයෙහි සල්ලේඛයෝයි කියනු නොලැබෙත්. මොහු ආර්ය ශාසනයෙහි මෙලොව සැප වාසයෝයි කියනු ලැබෙත්.