1. 1. 7.
වත්ථ සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනාථපිණ්ඩික සිටුහු විසින් කරවනලද ජේතවන නම්විහාරයෙහි වාසය කරති. එකල්හි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන්ට කථාකළහ. ‘ස්වාමීනි’යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ.
2. මහණෙනි, යම්සේ කිලුටුවූ මලබැඳුණාවූ වස්ත්රයක් වේද ඒ වස්ත්රය රෙදි සායම් කරන්නෙක් නිල්පාට කිරීම පිණිස හෝ රන්වන් පාට කිරීම පිණිස හෝ ලේපාට කිරීම පිණිස හෝ මදටියපාට කිරීම පිණිස හෝ යම් යම් සායමක් පොවන්නේද, එය නරකපාට ඇත්තක්ම වන්නේය. අපිරිසිදුපාට ඇත්තක්ම වන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, වස්ත්රය අපිරිසිදුවූ බැවිනි. මහණෙනි, එපරිද්දෙන්ම සිත කිලුටුවූ කල්හි දුර්ගතිය කැමතිවිය යුතුයි.
3. මහණෙනි, යම්සේ පිරිසිදුව බබලන්නාවූ වස්ත්රයක් වේද ඒ වස්ත්රය රෙදි සායම් කරන්නෙක් නිල්පාට කිරීම පිණිස හෝ රන්වන් පාට කිරීම පිණිස හෝ ලේපාට කිරීම පිණිස හෝ මදටියපාට කිරීම පිණිස හෝ යම් යම් සායමක් පොවන්නේද එය හොඳපාට ඇත්තක්ම වන්නේය. පිරිසිදු පාට ඇත්තක්ම වන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, වස්ත්රය පිරිසිදුවූ බැවිනි. මහණෙනි, එපරිද්දෙන්ම සිත නොකිලිටිවූ කල්හි සුගතිය කැමති විය යුතුයි.
4. මහණෙනි, සිත කෙලෙසන්නාවූ පාපධර්මයෝ කවරහුද? අභිධ්යාව නම්වූ විෂමලෝභය (අනුන්ගේ දේ මට ඇත්නම් හොඳයයි ආශා කරන දැඩි ලෝභය) හිත කෙලෙසන්නකි. ව්යාපාදය (අනුන් නසනු කැමැත්ත) හිත කෙලෙසන්නකි. ක්රෝධය (තරහ) සිත කෙලෙසන්නකි. උපනාහය (බැඳගත් වයිරය) හිත කෙලෙසන්නකි. මක්ඛය (අනුන්ගේ ගුණමැකීම) හිත කෙලෙසන්නකි. පලාසය (නීචව සිටිමින් උසස් පුද්ගලයන් හා තමා සමාන සිතීම) හිත කෙලෙසන්නකි. ඊර්ෂ්යාව (අන්යයන්ගේ සම්පත් නොඉවසීම) හිත කෙලෙසන්නකි. මසුරුකම (තමාගේ ඇති සම්පත් සැඟවීම) හිත කෙලෙසන්නකි. මායාව (රැවටිල්ල) හිත කෙලෙසන්නකි. සඨබව (කෛරාටිකකම) හිත කෙලෙසන්නකි. ථම්භය (මානයෙන් ඉදිමුණු ගතිය) හිත කෙලෙසන්නකි. සාරම්භය (එකට එක කිරීම) හිත කෙලෙසන්නකි. මානය (ජාති ආදිය නිසා ඇතිවූ උඩඟු හැඟීම) හිත කෙලෙසන්නකි. අභිමානය (අධික මානය) හිත කෙලෙසන්නකි. මදය (ජාති ආදියෙන් මත්වීම) හිත කෙලෙසන්නකි. ප්රමාදය (පස්කම් සැපෙහි ඇල්ම) හිත කෙලෙසන්නකි.
5. මහණෙනි, ඒ මහණතෙම අභිධ්යාව නම්වූ විෂම ලෝභය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන අභිධ්යාව නම්වූ විෂමලෝභය දුරු කරයි. ව්යාපාදය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන, හිත කෙලෙසන ව්යාපාදය දුරු කරයි. ක්රෝධය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන ක්රෝධය දුරු කරයි. උපනාහය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන උපනාහය දුරුකරයි. මකු ගුණය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන මකු ගුණය දුරු කරයි. පලාසය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන පලාසය දුරු කරයි. ඊර්ෂ්යාව හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන ඊර්ෂ්යාව දුරු කරයි. මසුරුකම හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන මසුරුකම දුරු කරයි. රැවටිල්ල හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන මායාව දුරුකරයි. කයිරාටික බව හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන කයිරාටික බව දුරු කරයි. හිතේ තදගතිය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන සිතෙහි තදගතිය දුරුකරයි. එකට එක කිරීම හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන සාරම්භය දුරු කරයි. මානය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන මානය දුරුකරයි. අභිමානය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන අභිමානය දුරුකරයි. ප්රමාදය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන ප්රමාදය දුරුකරයි.