1. 1. 6.
ආකඞ්ඛෙය්‍ය සූත්‍රය
1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනාථ පිණ්ඩික සිටුහු විසින් කරවනලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” කියා භික්ෂූන්ට කථාකළහ. “ස්වාමීන් වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, සීලයෙන් යුක්තව වාසයකරව්. ප්‍රාතිමොක්ෂ සංවරයෙන් යුක්තව වාසය කරව්. ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තව වාසය කරව්. ඉතා සුලුවුද වරදට භයවන ගති ඇතිව වාසය කරව්. ශික්ෂාපද සමාදන්ව ඊට අනුව හික්මෙව්.
2. මහණෙනි මහණ තෙම සමාන බඹසර ඇත්තවුන්ට ප්‍රිය වූවෙක් මනාපවූවෙක් ගරු කළයුත්තෙක් සැලකිය යුත්තෙක් වන්නෙමියි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගන්නෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.
3. මහණෙනි, මහණ තෙම සිවුරු, ආහාර, ගිලන්පස, බෙහෙත් පිරිකර, ලබන්නෙක් වෙමියි ඉදින් කැමති වන්නේ නම්, ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.
4. මහණෙනි, මහණ තෙම යම් කෙනෙකුන්ගේ සිවුරු, ආහාර, සෙනසුන්, ගිලන්පස බෙහෙත් පිරිකර මම වළඳම් නම් ඔවුන්ගේ ඒ දානමය පින්කම් මහත්ඵල වේවායි, මහත් ආනිශංස වේවායි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය, තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු විදර්ශනාවෙන් යුක්තව වූවෙකු සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.
5. මහණෙනි, මහණතෙම පරලොව ගියාවූ මාගේ යම් නෑ සහ ලේ නෑ කෙනෙක් වෙත්ද ඔවුහු සතුටු සිතින් මා සිහිකරන්නාහ. ඔවුන්ගේ ඒ සිහිකිරීම මහත්ඵල වේවායි මහානිශංස වේවායි ඉදින් කැමැති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු විදර්ශනාවෙන් යුක්තවූවෙකු සූන්‍යාගාර වඩන්නෙකු වියයුතුය.
6. මහණෙනි, මහණතෙම කුසල ධර්මයන්හි නොඇලීමද (කම්සැපෙහි) ඇල්මද ඉවසන්නෙක් (මැඩපවත්වන්නෙක්) වන්නෙමි. ඒ කුශල ධර්මයන්හි නොඇලීමද යම්සේ මා නොමඩින්නේද එසේ උපන් කුසල ධර්මයන්හි නොඇල්ම මැඩ මැඩ වාසය කරමියි. ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු වියයුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.
7. මහණෙනි, මහණ තෙම භයානක අරමුණු ඉවසන්නෙමි. සිත තැතිගැන්ම හා භයානක අරමුණු මා මැඩනොපවත්නේද එසේ උපන් භයජනක අරමුණු මැඩ මැඩ වාසය කරන්නෙමියි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු විදර්ශනාවෙන් යුක්තවූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.
8. මහණෙනි, මහණතෙම පිරිසිදු සිතෙහි හටගත්තාවූ මේ ආත්මයෙහි සැප වාස ඇත්තාවූ රූපාවචර ධ්‍යාන හතර කැමතිසේ ලබන්නෙක්, පහසුවෙන් ලබන්නෙක්, අමාරුවක් නැතිව ලබන්නෙක් වන්නෙමියි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු වියයුතුය.
9. මහණෙනි, මහණතෙම සංසිඳුනාවූ විරුද්ධ ධර්මයන් කෙරෙන් මිදුණාවූ රූපාවචර ධ්‍යානය ඉක්ම සිටි හෙයින් රූප රහිතවූ යම් ඒ අරූප ධ්‍යානයෝ වෙත්ද ඔවුන් නාම කයින් ස්පර්ශකොට වාසය කරන්නෙමියි ඉදින් කැමැති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.