1. 1. 5.
අනංගණ සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනාථ පිණ්ඩික සිටුහු විසින් කරන ලද ජේතවන විහාරයෙහි වාසය කරති. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි, මහණෙනි,’ කියා භික්ෂූන්ට කථා කළහ. ‘ඇවැත්නි’ කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශරිපුත්ර ස්ථවිරයන් වහන්සේට පිළිතුරු දුන්හ. ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ මේ සූත්රය වදාළහ:
2. ඇවැත්නි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහුය. කවර සතරදෙනෙක්ද යත්? ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම අංගණ (තියුණු කෙලෙස්) සහිතවූයේම තමා තුළ තියුණුවූ කෙලෙස් ඇතැයි තතුසේ නොදනියි. ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම කෙලෙස් සහිතවූයේම තමා තුළ කෙලෙස් ඇතැයි තතුසේ දනියි. –
ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම කෙලෙස් රහිතවූයේම තමා තුළ කෙලෙස් නැතැයි තතුසේ නොදනියි. ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම කෙලෙස් රහිතවූයේම තමා තුළ කෙලෙස් නැතැයි තතුසේ දනියි. ඇවැත්නි, ඒ පුද්ගලයන් අතුරෙහි යම් පුද්ගලයෙක් තෙම කෙලෙස් සහිතවූයේම තමා තුළ කෙලෙස් ඇතැයි තතුසේ නොදනියිද මේතෙම මේ කෙලෙස් සහිත පුද්ගලයන් දෙදෙන අතුරෙන් පහත් පුරුෂයා යයි කියනු ලැබේ. ඇවැත්නි, යම් ඒ පුද්ගලයෙක් තෙම කෙලෙස් සහිතවූයේම තමා තුළ කෙලෙස් ඇතැයි තතුසේ දනියිද, මෙතෙම කෙලෙස් සහිතවූම මේ පුද්ගලයන් දෙදෙන අතුරෙන් ශ්රේෂ්ඨ පුරුෂයායයි කියනු ලැබේ. ඇවැත්නි, යම් ඒ පුද්ගලයෙක්තෙම කෙලෙස් රහිත වූයේම තමා තුළ කෙලෙස් නැතියි තතුසේ නොදනියිද මෙතෙම කෙලෙස් රහිතවූ මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් පහත් පුරුෂයායයි කියනු ලැබේ. ඇවැත්නි, යම් ඒ පුද්ගලයෙක් තෙම කෙලෙස් රහිත වූයේම තමා තුළ කෙලෙස් නැතැයි තතුසේ දනියිද මෙතෙම කෙලෙස් රහිතවූ මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් ශ්රේෂ්ඨ පුරුෂයායයි කියනු ලැබේ.
3. මෙසේ කී කල්හි ආයුෂ්මත් මහාමෞද්ගල්යායන ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේට මෙය ප්රකාශ කළහ: ඇවැත්නි, ශාරීපුත්රයෙනි, කෙලෙස් සහිතවූම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් එකෙක් පහත් පුද්ගලයායයි කියනු ලැබේ. එකෙක් ශ්රේෂ්ඨ පුද්ගලයායයි කියනු ලැබේ. ඊට හේතු කවරේද? ඊට ප්රත්යය කවරේද? කෙලෙස් රහිතවූ මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් එකෙක් පහත් පුද්ගලයා යයි කියනු ලැබේ. එකෙක් ශ්රේෂ්ඨ පුද්ගලයායයි කියනු ලැබේ. ඊට හේතු කවරේද? ඊට ප්රත්යය කවරේද?
4. ඇවැත්නි, ඔවුන් අතුරෙහි යම් ඒ පුද්ගලයෙක්තෙම කෙලෙස් සහිත වූයේම තමා තුළ කෙලෙස් ඇත්තේයයි තතුසේ නොදනීද ඔහු ගැන මෙසේ කැමැතිවිය යුතුයි: ඔහු ඒ කෙලෙස් නැතිකිරීම පිණිස කැමැත්තක් ඇතිකර නොගනියි, වෑයම් නොකරයි, වීර්ය නොකරයි. හෙතෙම රාග සහිතවූයේ ද්වේෂ සහිතවූයේ මෝහ සහිතවූයේ කෙලෙස් සහිතවූයේ කිළුටු සිත් ඇත්තේ කලුරිය කරන්නේය. ඇවැත්නි, සල්පිලින් හෝ රන්කරු කුලයකින් හෝ ගෙනෙනලද දූවිල්ලෙන් හා මලකඩින් ගැවසුනාවූ රන් තලියක් වේද එය හිමියෝ පරිභොග නොකරත්නම් පිරිසිදු නොකරත්නම් ධූලි සහිත තැන්හි දමත් නම් ඒ රන් තලිය ටික කලකින් අතිශයින් කිළුටුවී මල සහිත නොවන්නීද? ‘එසේය ආයුෂ්මත්නි’. ‘එපරිද්දෙන්ම ඇවැත්නි, යම් පුද්ගලයෙක් කෙලෙස් සහිතවූයේම තමා තුළ කෙලෙස් ඇත්තේයයි තතුසේ නොදනීද ඔහු සම්බන්ධයෙන් මෙය කැමතිවිය යුතුයි. ඔහු ඒ කෙලෙස් නැතිකිරීම පිණිස කැමැත්තක් ඇතිකර නොගනියි. වෑයම් නොකරයි, හෙතෙම රාග සහිත වූයේ ද්වේෂ සහිත වූයේ මෝහ සහිත වූයේ කෙලෙස් සහිත වූයේ කිළුටු සිත් ඇත්තේ කලුරිය කරන්නේය’.