1. 1. 4.
භයභෙරව සූත්රය
1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඩු සිටුහු විසින් කරවන ලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි ජානුස්සොණි නම් බමුණු තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ හා සතුටු විය. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එකත්පසක හුන්නේය. එකත්පසක හුන්නාමවූ ජානුස්සොණි බමුණුතෙම භාග්යවතුන් වහන්සේට මේ කාරණය සැළ කෙළේය:
2. “භවත් ගෞතමයන් වහන්ස, යම් යම් කුලපුත්රයෝ භවත් ගෞතමයින් උදෙසා ශ්රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාහුද ඔවුන්ට පින්වතුන් වහන්සේම නායකය. පින්වතුන් වහන්සේම ඔවුන්ට බොහෝ උපකාර ඇත්තෙක. පින්වතුන් වහන්සේම ඔවුන් සමාදන් කරවන්නාහ. ඒ ජන සමූහතෙම භවත් ගෞතමයින්ගේ දෘෂ්ටානුගතියට (දැකීම අනුගමනය කිරීම) පැමිණේයයි” කියායි.
3. “බ්රාහ්මණය, ඒ කරුණ එසේමය. බ්රාහ්මණය, ඒ කරුණ එසේමය. බ්රාහ්මණය, යම් ඒ කුලපුත්රයෝ මා උදෙසා ශ්රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාහුද? ඔවුන්ට මමම නායකවෙමි. මමම බොහෝ උපකාර ඇත්තේ වෙමි. මමම ඔවුන් සමාදන් කරවන්නෙමි. ඒ ජන සමූහතෙමේ මගේම දෘෂ්ටානුගතියට පැමිණෙන්නේය.”
4. “භවත් ගෞතමයෙනි, ආරණ්ය සේනාසනයද වනයෙහි දුර පිහිටි සේනාසනද වනයෙහි ඉතාම දුර පිහිටි සේනාසනද ලැබීම දුෂ්කරය. හෙවත් එහි වාසය නොඉවසිය හැකිය. විවේකය දුෂ්කරය. තනිව විසීමේ සිත් ඇලවීම දුෂ්කරය. වනයෝ තුමූ සමාධිය නොලබන්නාවූ භික්ෂූහුගේ සිත පැහැර ගන්නාක් මෙන් වෙති.”
5. බ්රාහ්මණය, ඒ එසේමය. බ්රාහ්මණය, ඒ එසේමය. බ්රාහ්මණය, ආරණ්ය සේනාසනයද, වනයෙහි දුර පිහිටි සේනාසනයද, වනයෙහි ඉතාම දුර පිහිටි සේනාසනයද ලැබීම දුෂ්කරය. හෙවත් එහි වාසය නොඉවසිය හැකිය. විවේකය දුෂ්කරය, තනිව විසීමේ සිත් ඇලවීම දුෂ්කරය, වනයෝ තුමූ සමාධිය නොලබන්නාවූ භික්ෂූහුගේ සිත පැහැර ගන්නාක් මෙන් වෙති. බ්රාහ්මණය, බුදුවන්නට පෙර බොධිසත්ව කාලයේදී මටද මේ කල්පනාව ඇතිවිය: ‘අරණ්ය සේනාසනද, වනයෙහි දුර පිහිටි සේනාසනද, වනයෙහි ඉතාම දුර පිහිටි සේනාසනද ලබන්ට දුෂ්කරය, හෙවත් එහි වාසය නොඉවසිය හැකිය, විවේකය දුෂ්කරය, තනිව විසීමේ සිත් ඇලවීම දුෂ්කරය, වනයෝ තුමූ සමාධිය නොලබන්නාවූ භික්ෂූහුගේ සිත පැහැරගන්නාක් මෙන් වෙති’ යනුයි.
6. බ්රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇතිවිය: ‘අපිරිසිදු කායික ක්රියා ඇති යම් ඒ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ආරණ්ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසන හා ඉතා දුර පිහිටි සේනාසනද සේවනය කරත්ද, ඒ පින්වත් මහණ බමුණෝ අපිරිසිදු ක්රියා නමැති ස්වකීය දෝෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි අපිරිසිදු කායික ක්රියා ඇතිව වන සේනාසන සේවනය නොකරමි. මම පිරිසිදු කායික ක්රියා ඇත්තෙමි. යම් ආර්ය කෙනෙක් පිරිසිදු කායික ක්රියා ඇත්තාහු වන සේනාසන සේවනය කරත් ද ඔවුන් අතුරෙන් මම එක්තරා කෙනෙක් වෙමි.’ බ්රාහ්මණය, මේ පිරිසිදු කායික ක්රියා ඇති බව තමා කෙරෙහි දකින මම බොහෝසෙයින් වනවාසය පිණිස නිර්භය බවට පැමිණියෙමි.
7. බ්රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇතිවිය: ‘අපිරිසිදු වචන ඇත්තාවූ යම් ඒ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ අරණ්ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසනද දුර පිහිටි සේනාසනද සේවනය කරත්ද, ඒ පින්වත් මහණ බමුණෝ අපිරිසිදු වචන නමැති ස්වකීය දෝෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි අපිරිසිදු වචන ඇතිව වන සේනාසන සේවනය නොකරමි. මම පිරිසිදු වචන ඇත්තේ වෙමි. යම් ආර්ය කෙනෙක් පිරිසිදු වචන ඇත්තාහු අරණ්ය සේනාසන සේවනය කරත්ද ඔවුන් අතුරෙන් මම එක්තරා කෙනෙක් වෙමි.’ මේ පිරිසිදු වචන ඇති බව තමා කෙරෙහි දකින මම බොහෝසෙයින් වනවාසය පිණිස භය නැති බවට පැමිණියෙමි. බ්රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇතිවිය: ‘අපිරිසිදු සිතිවිලි ඇත්තාවූ යම් ඒ ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ අරණ්ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසනද ඉතා දුර පිහිටි සේනාසනද සේවනය කරත්ද, ඒ පින්වත් මහණ බමුණෝ අපිරිසිදු සිතිවිලි නමැති තමන්ගේ දෝෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි අපිරිසිදු සිතිවිලි ඇතිව වන සේනාසන සේවනය නොකරමි. මම පිරිසිදු සිත් ඇත්තේ වෙමි. යම් ආර්ය කෙනෙක් පිරිසිදු සිතිවිලි ඇත්තාහු අරණ්ය සේනාසන සේවනය කරද්ද, ඔවුන් අතුරෙන් මම එක්තරා කෙනෙක්වෙමි.’ බ්රාහ්මණය, මේ පිරිසිදු සිතිවිලි ඇති බව තමා කෙරෙහි දක්නා මම බොහෝ සෙයින් වනවාසය පිණිස භය නැති බවට පැමිණියෙමි. බ්රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇති විය: ‘අපිරිසිදු ජීවිකා ඇත්තාවූ යම් ඒ ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ ආරණ්ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසනද දුර පිහිටි සේනාසනද සේවනය කරත්ද, ඒ පින්වත් මහණ බමුණෝ අපිරිසිදු ජීවිකා නමැති තමන්ගේ දෝෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි අපිරිසිදු ජීවිකා ඇතිව වන සේනාසන සේවනය නොකරමි. මම පිරිසිදු ජීවිකා ඇත්තේ වෙමි. යම් ආර්ය කෙනෙක් පිරිසිදු ජීවිකා ඇත්තාහු අරණ්ය සේනාසන සේවනය කරද්ද, ඔවුන් අතුරෙන් මම එක්තරා කෙනෙක් වෙමි.’ බ්රාහ්මණය, මේ පිරිසිදු ජීවිකා ඇති බව තමා කෙරෙහි දක්නා මම බොහෝ සෙයින් වනවාසය පිණිස භය නැති බවට පැමිණියෙමි.
8. බ්රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇති විය: ‘අධික ලෝභ ඇත්තාවූ, කාමයන්හි තියුණු රාග ඇත්තාවූ යම් ඒ ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ අරණ්ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසනද ඉතා දුර පිහිටි සේනාසනද සේවනය කරයිද ඒ පින්වත් මහණ බමුණෝ අධික ලෝභ නමැති තමන්ගේ දෝෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි අධික ලෝභ ඇතිව වන සේනාසන සේවනය නොකරමි. මම අධික ලෝභ නැත්තේ වෙමි. යම් ආර්ය කෙනෙක් අධික ලෝභ නැත්තාහු අරණ්ය සේනාසන සේවනය කරද්ද, ඔවුන් අතුරෙන් මම එක්තරා කෙනෙක් වෙමි.’ බ්රාහ්මණය, මේ අධික ලෝභ නැතිකම තමා කෙරෙහි දක්නා මම බොහෝ සෙයින් වනවාසය පිණිස භය නැති බවට පැමිණියෙමි.