1. 1. 3.
ධම්මදායාද සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනාථපිණ්ඩික සිටුහු විසින් කරවනලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි,’ කියා භික්ෂූන්ට කථා කළහ. ඒ භික්ෂූහු ‘ස්වාමීනි,’ කියා උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මේ සූත්රධර්මය දේශනා කළහ.
2. “මහණෙනි, මාගේ ධර්මය දායාදකොට ඇත්තෝ (පිළිගන්නෝ) වව්. ආමිසය (සිව්පසය) දායාදකොට ඇත්තෝ (පිළිගන්නෝ) නොවව්. කෙසේ නම් මාගේ ශ්රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තෝ වන්නාහුද, ආමිසය (සිව්පසය) දායාද කොට ඇත්තෝ නොවන්නාහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත. මහණෙනි, තොපත් මාගේ ආමිසය ගරුකොට පිළිගන්නෝ වන්නහුද? ධර්මය ගරුකොට නොපිළිගන්නෝ වන්නහුද, ‘ශාස්තෘ ශ්රාවකයෝ ආමිස ගරුකව වාසය කරති. ධර්ම ගරුකව වාසය නොකරති’යි තොපද ඒ කාරණයෙන් ගැරහිය යුත්තෝ වන්නාහුය. ‘ශාස්තෘ ශ්රාවකයෝ ආමිසය දායාදකොටගෙන ධර්මය දායාද කොට නොගෙන වාසය කරත්ය’යි මමත් ගැරහිය යුත්තෙක් වන්නෙමි. මහණෙනි, තොපිත් මාගේ ධර්මය දායාදකොට ඇත්තාහු ආමිසය දායාදකොට නැත්තාහු වන්නහු නම් ‘ශාස්තෘ ශ්රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තාහු වාසය කරත්, ආමිසය දායාදකොට නැත්තාහු වාසය කරත්ය’යි තෙපිත් ගැරහිය යුත්තෝ නොවන්නහුය. ‘ශාස්තෘ ශ්රාවකයෝ ධර්මය දායාදකොට වාසය කරති, ආමිසය ගරුකොට වාසය නොකරති’යි මමත් එයින් ගැරහිය යුත්තෙක් නොවන්නෙමි. මහණෙනි, එහෙයින් ධර්මය දායාදකොට ඇත්තෝ වව්, ආමිසය දායාදකොට ඇත්තෝ නොවව්. කෙසේ නම් මාගේ ශ්රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තෝ වන්නාහුද, ආමිසය දායාදකොට ඇත්තෝ නොවන්නාහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.
3. “මහණෙනි, මම වැළඳුයෙමි, ඇති පමණ වළඳා ආහාරය ප්රතික්ෂේප කෙළෙමි. භොජනයෙන් සම්පූර්ණ වූයෙමි. වළඳා අවසන් කෙළෙමි. බඩගින්න නිවීයාමෙන් සුවපත් වූයෙමි. ප්රයෝජන ඇතිතාක් ආහාර ගත්තේ වෙමි. මහණෙනි, ඉතිරිව ඉවත දැමිය යුතුවූ පිණ්ඩපාතය (ආහාරය) ඇත්තේය. එකල්හි බඩගින්නෙන් ඇතිවූ දුර්වලකමින් පෙළෙන්නාවූ භික්ෂූන් දෙනමක් එන්නාහුය. මම ඔවුන්ට මෙසේ කියන්නෙමි. ‘මහණෙනි, මම වනාහි වැළඳුයේ වෙමි. ඇති පමණ වැළඳුයෙමි. භොජනයෙන් සම්පූර්ණ වූයේ වෙමි. වළඳා අවසන් කෙළෙමි සුවපත් වූයෙමි. ප්රයෝජන ඇතිතාක් ආහාර ගත්තෙමි. ඉතිරිවූ ඉවත දැමිය යුතුවූ මේ ආහාරයද ඇත. ඉදින් කැමැත්තහු නම් වළඳව්. ඉදින් තෙපි නොවළඳන්නහු නම් මම දැන් එය තණකොළ නැති බිමක හෝ දමන්නෙමි. (බත් ආදිය දැමීමෙන් නැසෙන) කුඩාසතුන් නැති දියෙහි හෝ පාකොට හරින්නෙමි.’ (කියායි.)
4. “ඔවුන් දෙදෙනා අතුරෙන් එක් භික්ෂුවක්හට මෙබඳු සිතක් ඇතිවෙයි. භාග්යවතුන් වහන්සේ වනාහි වැළඳුයේ වෙයි. පවාරණය කළේ, ආහාරයෙන් සම්පූර්ණ වූයේ, වළඳා අවසන් කළේ, සුඛිත වූයේ, ප්රයෝජන ඇතිතාක් ආහාර ගත්තේ වෙයි. ඉතිරිවූ ඉවත දැමිය යුතුවූ මේ ආහාරයද ඇත්තේය. ඉදින් අපි නොවළඳන්නෙමු නම් භාග්යවතුන් වහන්සේ එය තණකොළ නැති බිමක හෝ දමන්නාහ. කුඩා සතුන් නැති ජලයක හෝ පාකොට හරින්නාහ. “මහණෙනි, ධර්මය දායාදකොට ඇත්තෝ වව්. ආමිසය දායාදකොට ඇත්තෝ නොවව්ය”යි භාග්යවතුන් වහන්සේ විසින්ම වදාරන ලදී. මේ පිණ්ඩපාතයද එක් ආමිසයකි. ‘මම මේ ආහාරය නොවළඳා මේ බඩගිනි දුබලකමින් යුක්තව මෙසේ මේ රෑ දාවල ඉක්මවන්නෙම් නම් ඉතා යෙහෙකැ’යි කියායි. ඒ භික්ෂුතෙම ඒ ආහාරය අනුභව නොකොට ඒ බඩගිනි දුකින්ම ඒ රෑ දාවල ඉක්මවන්නේය.
5. නැවත දෙවන මහණට මෙබඳු සිතක් වන්නේය. භාග්යවතුන් වහන්සේ වනාහි වැළඳුයේ වෙයි. පවාරණය කළේ, ආහාරයෙන් සම්පූර්ණ වූයේ, වළඳා අවසන් කළේ, සුඛිත වූයේ, ප්රයෝජන ඇතිතාක් ආහාර ගත්තේ වෙයි. ඉතිරිවූ ඉවත දැමිය යුතු මේ ආහාරයද වෙයි. ඉදින් අපි නොවළඳන්නෙමු නම් භාග්යවතුන් වහන්සේ එය තණකොළ නැති බිමක හෝ දමන්නාහ, කුඩා සතුන් නැති ජලයක හෝ පාකොට හරින්නාහ. මම මේ ආහාරය වළඳා බඩගිනි දුර්වලකම දුරුකොට මෙසේ මේ රෑ දාවල ඉක්මවන්නෙම් නම් යහපතැයි කියායි. “මහණෙනි, ඒ දෙවන භික්ෂුව ඒ ආහාරය වළඳා බඩගිනි දුබල බව දුරුකොට ‘මෙසේ රෑ දාවල ඉක්මවන්නේවී නමුත් අර පළමු භික්ෂුවම මා විසින් අතිශයින් පිදියයුත්තේද, අතිශයින් පැසසිය යුත්තේද වෙයි.’ “ඊට හේතු කවරේද? මහණෙනි, ඒ ආහාරය නොගැනීම ඒ භික්ෂුහට බොහෝ කාලයක් මුළුල්ලෙහි ස්වල්ප ආශා ඇති බව පිණිසද, ලද දෙයකින් සතුටුවීම පිණිසද, පහසුවෙන් කෙලෙසුන් කපා හැරීම පිණිසද, පහසුවෙන් පොෂ්යකළහැකි බව පිණිසද, වීර්ය පටන්ගැන්ම පිණිසද පවත්නේය. “මහණෙනි, එහෙයින් මාගේ ධර්මය දායාදකොට ඇත්තෝ වව්, ආමිසය දායාදකොට ඇත්තෝ නොවව්. කෙසේනම් මාගේ ශ්රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තෝ වන්නාහුද? ආමිසය දායාදකොට ඇත්තෝ නොවන්නහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.”
6. භාග්යවතුන් වහන්සේ මෙය වදාළහ. මෙය වදාරා සුගතයන්වහන්සේ හුනස්නෙන් නැගිට විහාරයට වැඩියහ.
7. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් ‘ඇවැත්නි,මහණෙනි,’ කියා භික්ෂූන්ට කථාකළහ. ඒ භික්ෂූහු ‘ඇවැත්නි,’ කියා ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ මෙය දේශනා කළහ.
8. “ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විවේකයෙහි වාසය කරද්දී ශ්රාවකයෝ කොපමණකින් (කරුණු කීයකින්) විවේකයෙහි හික්මෙත්ද? ශාස්තෲන්වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්රාවකයෝ කොපමණකින් විවේකයෙහි නොහික්මෙත්ද?” “ආයුෂ්මතුනි, අපි ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන්වහන්සේගෙන් මේ වදාළ ධර්මයෙහි අර්ථය දැනගන්නට දුර සිටද එන්නෙමු. මේ ධර්මයෙහි අර්ථය ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේටම අයත්වීම යහපත්ය. ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරාගන්නාහුයයි” කීහ. “ඇවැත්නි, එසේ වීනම් අසව, මනාකොට මෙනෙහි කරව් කියන්නෙමි” ඒ භික්ෂූහු ‘එසේය ඇවැත්නි’ කියා ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ මෙසේ දේශනා කළහ.