1. 1. 2.
සබ්බාසව සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවනයේ අනේපිඩු මහසිටුහු විසින් කරවනලද ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” කියා භික්ෂූන්ට කථාකළහ. ඒ භික්ෂූහු “ස්වාමීනි” කියා උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රධර්මය දේශනා කළහ:
2. “සියලු කාමාදී ආශ්‍රවයන් (කෙලෙස්) වැළැක්වීම පිළිබඳ ධර්මය දේශනා කරන්නෙමි. එය අසව්, සිත්හි ධාරණය කර ගනිව්, කියන්නෙමි”යි වදාළහ. “එසේය ස්වාමීනි,’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළහ:
3. මහණෙනි, මම දන්නහුගේ දක්නහුගේ ආශ්‍රවයන්ගේ ක්ෂය වීම (කෙලෙස් නැතිකිරීම) කියමි. නොදන්නහුගේ නොදක්නහුගේ (කෙලෙස් නැතිකිරීම) නොකියමි. මහණෙනි, කුමක් දන්නහුගේ කුමක් දක්නහුගේ ආශ්‍රවයන් නැතිවීම වේද? නුවණින් මෙනෙහිකිරීමත් නුනුවණින් මෙනෙහි කිරීමත් යන දෙකය. මහණෙනි, නුනුවණින් සිතන්නාවූ පුද්ගලයාට නූපන්නාවූ ආශ්‍රවයෝද උපදිත්, උපන්නාවූ ආශ්‍රවයෝද වැඩෙත්. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නහුට නූපන්නාවූ ආශ්‍රවයෝද නූපදිත්, උපන්නාවූ ආශ්‍රවයෝද දුරුවෙත්.
4. මහණෙනි, දැකීමෙන් (සෝවාන් මාර්ගයෙන්) පහකළ යුතුවූ ආශ්‍රව ඇත්තාහ. සංවරයෙන් පහකළ යුතුවූ ආශ්‍රව ඇත්තාහ. සේවනයෙන් පහකළ යුතුවූ ආශ්‍රව ඇත්තාහ. ඉවසීමෙන් පහකළ යුතුවූ ආශ්‍රව ඇත්තාහ. මගහැරීමෙන් පහකළ යුතුවූ ආශ්‍රව ඇත්තාහ. දුරලීමෙන් පහකළ යුතුවූ ආශ්‍රව ඇත්තාහ. භාවනාවෙන් පහකළ යුතුවූ ආශ්‍රව ඇත්තාහ.
5. මහණෙනි, දැකීමෙන් පහකළයුතු වූ ආශ්‍රව නම් කවරහුද? මහණෙනි, මේ ලෝකයෙහි බුද්ධාදී ආර්යයන් නුවණැසින් නුදුටුවාවූ ආර්ය ධර්මයෙහි අදක්ෂවූ ආර්ය ධර්මයෙහි නොහික්මුණාවූ බුද්ධාදී සත්පුරුෂයන් නුවණැසින් නුදුටුවාවූ සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණාවූ ඇසූ පිරූ තැන් නැත්තාවූ (නූගත්) පෘථග්ජන පුද්ගල තෙමේ මෙනෙහි කළයුතු ධර්මයන් නොදනියි, මෙනෙහි නොකළයුතුවූ ධර්මයන් නොදනියි. මෙනෙහි කටයුතුවූ ධර්මයන් නොදන්නාවූ මෙනෙහි නොකටයුතු ධර්මයන් නොදන්නාවූ හෙතෙමේ යම් ධර්මයන් මෙනෙහි නොකට යුත්තාහුද ඒ ධර්මයන් මෙනෙහි කරයි, යම් ධර්මයන් මෙනෙහි කළයුත්තාහුද ඒ ධර්මයන් මෙනෙහි නොකරයි.
6. මහණෙනි, ඔහු යම් ධර්මයන් මෙනෙහි කෙරේද, ඒ මෙනෙහි නොකළයුතු ධර්මයෝ කවරහුද? මහණෙනි, යම් ධර්මයන් මෙනෙහි කරන්නාවූ යමෙකුට නූපන්නාවූද කාමාශ්‍රවය උපදී ද, උපන්නාවූ කාමාශ්‍රවය වැඬේද; නූපන්නාවූ භවාශ්‍රවය උපදියිද, උපන්නාවූද භවාශ්‍රවය වැඩෙයිද; නූපන්නාවූ අවිද්‍යාශ්‍රවය උපදීද, උපන්නාවූද අවිද්‍යාශ්‍රවය වැඬේද; ඔහු විසින් මෙනෙහි කරනු ලබන මේ ධර්මයෝ මෙනෙහි නොකළ යුතු ධර්මයෝයි.
7. මහණෙනි, ඔහු යම් ධර්මයන් මෙනෙහි නොකෙරේද, ඒ මෙනෙහි කළ යුතු ධර්මයෝ කවරහුද? මහණෙනි, යම් ධර්මයන් මෙනෙහි කරන්නා වූ යමෙකුට නූපන්නාවූද කාමාශ්‍රවය නූපදීද, උපන්නාවූ කාමාශ්‍රවය පහවේද; නූපන්නාවූ භවාශ්‍රවය නූපදීද, උපන්නාවූ භවාශ්‍රවය පහවේද; නූපන්නාවූ අවිද්‍යාශ්‍රවය නූපදීද, උපන්නාවූ අවිද්‍යාශ්‍රවය පහවේද; ඔහු විසින් මෙනෙහි නොකරනු ලබන මේ ධර්මයෝ මෙනෙහි කළයුතු ධර්මයෝය.
8. මෙනෙහි නොකළයුතු ධර්මයන් මෙනෙහි කරන්නාවූද, මෙනෙහි කළයුතු ධර්මයන් මෙනෙහි නොකරන්නාවූද ඔහුට නූපන්නාවූද ආශ්‍රවයෝ උපදිත්, උපන්නාවූද ආශ්‍රවයෝ වැඩෙත්.