7. 7. කන්ථක විමාන කථාව
පූර්ව පක්ෂයෙහි නැකැත් තරු පිරිවරකොට ඇති චන්ද්රයා යම්සේද, තාරකාවන්ට අධිපති චන්ද්රයා හාත්පස හැසිරෙද්ද?
මේ දිව්ය විමානය එබඳුය. අහසෙහිද රැස් ඇති සූර්යයා පහළවන්නාක් මෙනි.
වෙරළුමිණි, රන්වන් පළිඟු, රිදී මැසිරිගල් ලොහිතංක සියළු රත්නයෙන් යුක්තය.
වෙරළු මිණි අතුරනලද භූමිය විචිත්රය, මනරම්ය, කළුගෙවල් ශුභය, රම්යය, තොපට ප්රාසාදයක් මැවුණේය.
මත්ස්යයන්ගෙන් ගැවසීගත්තාවූ රන්වන් වැලි අතුරනලද පිරිසිදු ජලය ඇති පැහැදුණු පොකුණ රම්යය.
නොයෙක් පියුමෙන් ගැවසී ගත්තීය, සුදු නෙලුම් මලින් යුක්තය. වාතයෙන් කම්පාවූ ඒවා සුවඳ හමයි.
ඒ පොකුණෙහි දෙපැත්තේ වනලැහැබ් මැවුනේය. ඔවුහු මල්ගස් වලින්ද ඵලදරණ වෘක්ෂයන් විසින්ද යුක්තය.
මෘදුවූ රෙදි අතුරනලද රන්වන් පා ඇති ආසනයෙහි හුන්නාවූ දිව්යරාජයා මෙන් අප්සරාවෝ පැමිණ සිටිත්.
සියලු ආභරණයෙන් ගැවසීගත්තාවූ නොයෙක් මල්දම් වලින් යුක්තවූ මහත් ඍද්ධි ඇත්තාවූ ඔහු ඇලුම් කරවත්. වසවර්ති දිව්යරාජයාසේ සතුටුවන්නෙහිය.
බෙරයක් මිහිඟුබෙර වීණා පණාබෙරවලින් මනාකොට වාදනය කරනලද නෘත්යගීතයෙහි සිත් ඇලවීමෙන් යුක්ත තැනැත්තේ ඇලෙයි.
තොපගේ නානාප්රකාර දිව්යරූපයද, දිව්ය ශබ්දද, නොහොත් රසද, ගන්ධද, යහපත් ස්පර්ශයද අදහස් කරනලදී.
යහපත්වූ මේ විමානයෙහි මහත් ආලෝක ඇති දිව්යපුත්රතෙම උදාවෙන සූර්යයා මෙන් බබළයි.
මේ ඔබගේ දානයක ඵලයද, නැතහොත් ශීලයක ඵලයද, නොහොත් වැඳීමක ඵලයද, විචාරන ලද මට එය කියනු මැනව.
මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දිව්ය පුත්රතෙමේ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළේය.
මම ශාක්යයන්ගේ ශ්රේෂ්ඨපුරය වන කිඹුල්වත්නුවර සුද්ධොදන රජුගේ පුත්රයා සමග උපන් කන්ථක නමි.
යම්කලෙක හෙතෙම අර්ධ රාත්රියෙහි බුදුවීම පිණිස ගිහිගෙන් නික්මුණේද හෙතෙම මට මෘදු අත්වල තඹපාට ඇති නිය පඳුරින්
කලවයට තට්ටුකොට ‘මම උතුම් බුදුබවට පැමිණ ලෝකයා එතර කරවන්නෙමි, යහළුව, උසුළවයි’ කීයේය.
ඒ වචනය අසන්නාවූ මට මාගේ ප්රීතිය මහත්විය. එදා මම සතුටු සිත් ඇත්තේ යහපත් සිත් ඇත්තේ අභිෂෙක ලදිමි.
මහත් යසස් ඇත්තාවූ ශාක්යපුත්රයා පිට නැඟුණේ යයි දැන සතුටු සිත් ඇත්තේ ප්රීතිවූයේ පුරුෂොත්තමයා උසුලාගෙන ගියෙමි.
හිරු නැගි කල අන් රටකට ගොස් හෙතෙම මා ද ඡන්නයාද අත්හැර අපෙක්ෂා රහිතව පහවූයේය.
උන්වහන්සේගේ තඹවන් නිය ඇති පා දිවෙන් ලෙවීමි. මහාවීරයන් වහන්සේ යන කල්හි අඬමින් බැලුයෙමි.
ශ්රීමත්වූ ශාක්යපුත්රයන් වහන්සේගේ නොදැකීමෙන් බරලෙඩක් වැළඳුණේය. මාගේ මරණය ඉක්මන්විය.
ඒ ආනුභාවයෙන් මේ විමනෙහි වසමි. දෙව්ලොව දිව්යමය සියලු කාමසම්පත් වලින් යුක්තවෙමි.
බුදුවීමේ හඬ අසා මට යම් ප්රීතියක් වූයේද, ඒ කුශල මූලයෙන්ම කෙලෙස් දුරුකිරීම ස්පර්ශ කරමි.