7. 8.
නොයෙක් වර්ණයෙන් යුත් දාහය හා ශොක නසන්නාවූ නොයෙක් විසිතුරු ඇති විමනකට නැඟී දිව්‍යාංගනාවන් පිරිවරන ලද්දේ සුනිර්මිත දිව්‍යපුත්‍රයා මෙන් ප්‍රීතිවෙයි.
කීර්තියෙන්ද, පිනෙන්ද, ඍද්ධියෙන්ද සමවූවෙක් නැත. උසස් කෙනෙක් කොයින්ද,
සියලු දෙවියෝද, තවුතිසා වැසි දිව්‍ය සමූහයාද රැස්වී චන්ද්‍රයාට මෙන් ඔබට වඳිත්, ඔබගේ මේ දිව්‍යාංගනාවෝ හාත්පසින් නටත්, ගී කියත්, ප්‍රමොදකරවත්.
ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්‍යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දිව්‍ය පුත්‍රතෙමේ ප්‍රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්‍රකාශ කළේය.
පින්වතුන් වහන්ස මම පෙර සුමෙධ නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වීමි. අවබෝධ නොකළ පෘථග්ජනයෙක් වීමි. ඒ මම සත් අවුරුද්දක් පැවිදිවී සිටියෙමි.
ඒ මම තාදීවූ පිරිනිවියාවූ සතර ඕඝ තරණය කළාවූ ශාස්තෘවූ සුමෙධ බුදුරජාණන් වහන්සේගේ රියනක් උස රන් දැලකින් වැසුණු ථූපය වැඳ සිත පහදවා ගතිමි.
දානයක් නුදුන්නෙමි. දෙන්ට දෙයක් නැතිවිය. අනුන් සමාදන් නොකරවීමි. පිදිය යුතු ධාතුවට පුදව්. මෙසේ වනාහි මෙයින් මතු දිව්‍ය ලෝකයට යන්නහුය.
මා විසින් ඒ කුශල කර්මය කරන ලදී. මා විසින් දිව්‍ය සැපද අනුභව කරමි. තව්තිසා වැසි දිව්‍ය සමූහයා මධ්‍යයෙහි සතුටු වෙමි. ඒ පිනේ ක්ෂය වීමක් නොපෙනේ.
අනෙක වණ්ණ විමානං.
7. 9.
අබරණින් සැරසුනාවූ මට්ටම් කරණලද කුණ්ඩලාභරණ ඇති මාලාවක් දරන්නාවූ රත් සඳුන්වලින් තැවරුණු අවයව ඇති තෝ මේ වන මැද හිස අත් බැඳගෙන හඬන්නෙහිය. කිම තෝ දුකට පැමිණියේ වෙහිද, කවර හේතුවකින් දුඃඛිත වූයෙහිද?
මට රනින් කළ පැහැ විහිදෙන කරත්තයක් තිබේ. ඊට රෝද දෙකක් නැත. ඒ දුකින් ජීවිතය හරින්නෙමි.
මාණවකය, මට කියව. මම නුඹට රණින් හෝ රිදීයෙන් හෝ මැණිකකින් හෝ රතු කැටයෙන් හෝ කරණ ලද රෝද දෙකක් සොයා දෙමි.
සඳ හිරු දෙදෙනා මේ අහසෙහි පෙනෙත්. මාගේ රනින් කළ රථය ඒ රෝද දෙක කරණ කොටගෙන හොබනේ වේයයි හෙතෙම බමුණාට කීයේය.