6. 10.
1108. “සක්දෙව් රජහුගේ සුධර්මා නම් යම් දිව්‍ය සභාවක් ඇද්ද, දිව්‍ය සමූහයා සමගිව යම් තැනක සිටීද, ඔබගේ එබඳුවූ මේ විමානය අහසෙහි බබළමින් සිටියි.
1109. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්‍යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
1110. “මහා කාශ්‍යප තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දිව්‍ය පුත්‍රතෙමේ ප්‍රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්‍රකාශ කළේය.
1111. “මම මනුෂ්‍යයන් අතරෙහි මනුෂ්‍යයෙක්වූයේ පායාසි රාජන්‍යයාගේ මෙහෙකරුවෙක් වීමි. ධනය ලැබ බෙදූයෙමි. මාගේ සිල්වත්තු ප්‍රියද වූවාහුය. පැහැදුණු සිතින් ආහාරද පානද සකස් කොට මහත් දානයක් දුනුමි.
1112. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්‍රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
“මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්‍රකාශ කරමි. මනුෂ්‍යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තෙක් වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
(උත්තර) පායාසිවිමානං (උත්තරවිමානං (සී. ස්‍යා. අට්ඨ.)) දසමං.
හයවෙනි පායාසි වර්ගය නිමි.
එහි උද්දානය:
අගාරිය විමාන දෙකක්ද, ඵලදායක විමානයද, උපස්සයදායක විමාන දෙකක්ද, භික්ඛාදායක විමානයද, යවපාලක විමානයද, කුණ්ඩලී විමාන දෙකක්ද, පායාසි විමානය දැයි පුරුෂ විමානයන්ගේ දෙවැනි වර්ගය කියනු ලැබේ.
7. සුනික්ඛිත්ත වර්ගය
7. 1.
1114. “තවුතිසා වැස්සන්ගේ ශ්‍රේෂ්ඨ උයනවූ චිත්‍රලතා වනය යම්සේ බබළයිද, එබඳුවූ නුඹගේ මේ විමානය අහසෙහි බබළමින් තිබේ.
1115. “මහත්වූ ආනුභාව සම්පන්නවූයේ දිව්‍ය ඍද්ධියට පැමිණියේ වෙහිය. මනුෂ්‍යව කිනම් කුශලයක් කොට මෙබඳු දිව්‍ය ඍද්ධියක් දිව්‍යානුභාවයක් ලබන ලද්දේද කිනම් කරුණකින් ඔබගේ වර්ණය සියලු දිශාවන්හි බබළයිද,
1116. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්‍රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්‍රකාශ කළේය.
1117. “මම මනුෂ්‍ය ලෝකයෙහි මනුෂ්‍යයෙක් වූයේ දිළිඳුවූ පිළිසරණක් නැත්තාවූ දුප්පත් කම්කරුවෙක්වීමි. වයොවෘද්ධවූ මවුපියන් පොෂ්‍ය කෙළෙමි. සිල්වත්තු මට ප්‍රිය වූවාහුය, ආහාරද, පානද පැහැදුනු සිතින් සකස්කොට මහත් දානයක් දුනිමි.
1118. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්‍රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
“මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්‍රකාශ කරමි. මනුෂ්‍යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තෙක් වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
චිත්තලතාවිමානං පඨමං.
7. 2.
1120. “තවුතිසා වැස්සන්ගේ ශ්‍රේෂ්ඨ උයනවූ නන්දන වනය යම්සේ බබළයිද, එබඳුවූ නුඹගේ මේ විමානය අහසෙහි බබළමින් තිබේ.
1121. “මහත්වූ ආනුභාව සම්පන්නවූයේ දිව්‍ය ඍද්ධියට පැමිණියේ වෙහිය. මනුෂ්‍යව කිනම් කුශලයක් කොට මෙබඳු දිව්‍ය ඍද්ධියක් දිව්‍යානුභාවයක් ලබන ලද්දේද කිනම් කරුණකින් ඔබගේ වර්ණය සියලු දිශාවන්හි බබළයිද,