4. 9. පීත විමාන කථාව
796. “රන් වස්ත්‍රද රන් කොඩිද දරන්නිය. රනින් අලංකාරය. රන්වන් සඳුන් තැවරුණ අවයව ඇත්තීය. රන්පාට උපුල් මල්දම් දරන්නීය.
797. “රන්වන් ප්‍රාසාද හා ඇඳන් ඇත්තාහ. රන්වන් ආසනයෝ ඇත්තාහ. රන්වන් භාජන ඇත්තේය. රන්වන් කුඩ ඇත්තාහ. රන්වන් රථ ඇත්තාහ. රන්වන් අශ්වයෝ ඇත්තාහ. රන්වන් විජිනි පත් ඇත්තාහ.
798. “යහපත් ස්ත්‍රිය පෙර මනුෂ්‍යලෝකයෙහි කිනම් කුශලකර්මයක් කළේද, දෙවතාව විචාරණ ලද්දී. ප්‍රකාශ කරව. මේ ප්‍රතිඵලය කිනම් කර්මයකගේද?”
799. “දිව්‍යරාජොත්තමය, වැටකොළුයයි ප්‍රසිද්ධ නොවැදගත් වැල් වර්ගයක් ඇත්තේය. ඒ වර්ගයේ මල් සතරක් මම චෛත්‍යයකට පූජාකරන්ට ගෙන ගියෙමි.
800. “ශාස්තෲන් වහන්සේගේ ශ්‍රී ශරීරය ගැන පැහැදුන සිතින් ඒ ගැනම වූ සිහියෙන් පාර නොදුටුවෙමි.
801. “ථූපය වෙත නොපැමිණි සිත් ඇති මා දෙනක් මැරුවාය. ඒ පින මා සිදුකරගත්තේ නම් මීට වඩා සැප ඇති වන්නේය.
802. “මඝ නම් දිව්‍යරාජයන් වහන්ස, ඒ කර්මයෙන් මනුෂ්‍ය දෙහය අත්හැර නුඹවහන්සේ හා සහභාවයට ගියෙමි.
803. “තව්තිසා දෙව්ලොවට අධිපති ශක්‍රතෙමේ මෙය අසා තව්තිසා වැසි දෙවියන් පහදවමින් මාතලීට මෙසේ කීවේය.
804. “මාතලිය, ආශ්චර්යවූ විසිතුරුවූ මේ කර්ම ඵලය බලව, ස්වල්ප වශයෙන් දුන් දානය මහත් ඵල පිනක් වේ.
805. “තථාගතවූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි හෝ නොහොත් උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් කෙරෙහි සිත පැහැදුවූ කල්හී දක්ෂිණාව ස්වල්ප නම් නොවන්නීය.
806. “මාතලිය, එව අප විසින් බොහෝසෙයින් තථාගතයන් වහන්සේගේ ධාතු පුදමු. පින් රැස් කිරීම සැප පිණිස පවතී.
807. “වැඩසිටි කල්හිද පිරිනිවී කල්හිද සමාන සිත ඇතිවූ කල්හි සමඵලවේ. සිත පැහැදීම නිසා සත්වයෝ සුගතියට යති.
808. “යම් තැනෙක්හි සත්කාර කොට දායකයෝ ස්වර්ගයට යත්ද, ඒ බොහෝදෙනාගේ ප්‍රයෝජනය පිණිස තථාගතවරයෝ උපදිත්.”
පීතවිමානං.
4. 10. උච්ඡුවිමාන කථාව
809. “දෙවියන් සහිත පෘථිවිය ආලෝක කොට චන්ද්‍ර සූර්යයන් මෙන් ශ්‍රීයෙන්ද, වර්ණයෙන්ද, යශසින්ද, තෙජසින්ද තව්තිසා දෙව්ලොව ශක්‍රයා සමග බබළන්නෙහිය.
810. “මානෙල් මාලා දරන මල්දම් පැළඳගත්, රන්වන් සමක් ඇති අලංකාරවූ උතුම් වස්ත්‍ර දරන තොප විචාරමි. මා වඳින යහපත් දෙවතාව ඔබ කවුද?
811. “තමා විසින් පූර්ව ජාතියෙහි මනුෂ්‍යව සිට කිනම් (කුශල) කර්මයක් කෙළෙහිද, දානයක් පුරුදු කරන ලද්දේද නැවත ශීල සංවරයක් පුරුදු කරන ලද්දේද, යසස් ඇත්තීය, කිනම් මේ කුශලයකින් සුගතියෙහි උපන්නීද, විචාරණ ලද දෙවතාව, කියනු මැනවි’ මේ ඵලය කිනම් කර්මයකගේද?”
812. “ස්වාමීනි දැන් ඔබවහන්සේ මේ ගමට පිඬු පිණිස හැසිරෙන්නේ අපගේ ගෙදරට වැඩිසේක. පැහැදුන සිතින් අප්‍රමාණ ප්‍රීතියෙන් ඉක්බිති නුඹවහන්සේට උක්සකුරු කඩක් දුනිමි.