4. 8. අම්බ විමාන කථාව
784. “රම්යවූ ඔබගේ දිව්යමයවූ අඹවනය රම්යය මෙහි ප්රාසාදයෝ මහල් ඇත්තාහ. නොයෙක් තූර්යයන්ගෙන් ඝොෂා සහිත වෙත්. දිව්යාංගනා සමූහයා විසින් ශබ්දපවත්වන ලදී.
785. “මෙහි රන්වන්වූ මහත් පහනක් නිතර දැල්වෙයි. දිවසළු නමැති ඵලයෙන් යුත් වෘක්ෂයන්ගෙන් හාත්පසින් පිරිවරන ලදී.
786. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තී ලබන ලද්දේද, කිනම් කාරණයකින් තීට මෙබඳු දිව්යානුභාවයක් පහළවේද, සිතට ප්රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
787. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද? තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද? දෙවතාව, කිනම් කරුණකින් ඔබ නිර්මල කාන්ති ඇති අනිත් දෙවතාවන් ඉක්මවා බබලයිද, ඔබගේ සියලු ශරීරයෙන් කිනම් කරුණක් නිසා සියලු දිශාවෝ බබළත්ද?”
788. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළාය.
789. “මම පූර්ව ජාතියෙහි මනුෂ්යයන් අතරෙහි මනුෂ්ය ධර්මයෙහි පිහිටි විද්යාමාන මිනිසුන්ට අයත්ව මිනිස් ලොව ඉපද අඹ ගස්වලින් පිරිවරණ ලද විහාරයක් කරවූයෙමි.
790. “විහාරය කොට අවසන්වූ කල්හි උත්සවය නිමි කල්හි වස්ත්රමය ගෙඩි අඹගස්වල සදා
791. “එහි පහනක් දල්වා සංඝයා වළඳවා ස්වකීය හස්තයෙන් පැහැදී එය සංඝයා වහන්සේට භාර කෙළෙමි.
792. “ඒ හේතුවෙන් මාගේ අඹවනය රම්යය මෙහි ප්රාසාදයෝ මහල් ඇත්තාහ. නොයෙක් තූර්යයන්ගෙන් ඝොෂා සහිත වෙත්. දිව්යාංගනා සමූහයා විසින් ශබ්දපවත්වන ලදී.
793. “මෙහි රන්වන්වූ මහත් පහනක් නිතර දැල්වෙයි. දිවසළු නමැති ඵලයෙන් යුත් වෘක්ෂයන්ගෙන් හාත්පසින් පිරිවරන ලදී.
794. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
795. “මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තී වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.”
අම්බවිමානං.
4. 9. පීත විමාන කථාව
796. “රන් වස්ත්රද රන් කොඩිද දරන්නිය. රනින් අලංකාරය. රන්වන් සඳුන් තැවරුණ අවයව ඇත්තීය. රන්පාට උපුල් මල්දම් දරන්නීය.
797. “රන්වන් ප්රාසාද හා ඇඳන් ඇත්තාහ. රන්වන් ආසනයෝ ඇත්තාහ. රන්වන් භාජන ඇත්තේය. රන්වන් කුඩ ඇත්තාහ. රන්වන් රථ ඇත්තාහ. රන්වන් අශ්වයෝ ඇත්තාහ. රන්වන් විජිනි පත් ඇත්තාහ.
798. “යහපත් ස්ත්රිය පෙර මනුෂ්යලෝකයෙහි කිනම් කුශලකර්මයක් කළේද, දෙවතාව විචාරණ ලද්දී. ප්රකාශ කරව. මේ ප්රතිඵලය කිනම් කර්මයකගේද?”
799. “දිව්යරාජොත්තමය, වැටකොළුයයි ප්රසිද්ධ නොවැදගත් වැල් වර්ගයක් ඇත්තේය. ඒ වර්ගයේ මල් සතරක් මම චෛත්යයකට පූජාකරන්ට ගෙන ගියෙමි.
800. “ශාස්තෲන් වහන්සේගේ ශ්රී ශරීරය ගැන පැහැදුන සිතින් ඒ ගැනම වූ සිහියෙන් පාර නොදුටුවෙමි.
801. “ථූපය වෙත නොපැමිණි සිත් ඇති මා දෙනක් මැරුවාය. ඒ පින මා සිදුකරගත්තේ නම් මීට වඩා සැප ඇති වන්නේය.
802. “මඝ නම් දිව්යරාජයන් වහන්ස, ඒ කර්මයෙන් මනුෂ්ය දෙහය අත්හැර නුඹවහන්සේ හා සහභාවයට ගියෙමි.
803. “තව්තිසා දෙව්ලොවට අධිපති ශක්රතෙමේ මෙය අසා තව්තිසා වැසි දෙවියන් පහදවමින් මාතලීට මෙසේ කීවේය.