4. 6.
730. “එම්බා දෙවතා දුව, ඔසධී තාරකාව දසදිශා එකාලොක කරයිද, එමෙන් රම්‍යවූ වර්ණයෙන්ද ඒ ඔබ සිටින්නෙහිය.”
731. “නටන්නාවූ ඔබගේ අංග ප්‍රත්‍යංගයන්ගෙන් ඇසිය යුතුවූ යහපත්වූ දිව්‍යශබ්දයෝ සර්වප්‍රකාරයෙන් නික්මෙත්.”
732. “නටවන්නාවූ තොපගේ අවයව වලින් සර්වප්‍රකාරයෙන් යහපත් හොඳ සුවඳවත් දිව සුවඳ හමයි.”
733. “කොන්ඩෙහි යම් පළඳනාවක්වේද කය සෙලවෙන කල්හි පඤ්චාංගික තූර්යයෙහි මෙන් ඔවුන්ගේ ශබ්දය ඇසෙයි.”
734. “වාතයෙන් සොලවනලද, වාතයෙන් විශේෂයෙන් කම්පාකරනලද මුදුන්මල්කඩක් වේද, පඤ්චාංගික තූර්යයන්හි මෙන් ඔවුන්ගේ ශබ්දය ඇසෙයි.”
735. “යහපත් සුවඳ ඇති, යහපත්වූ තොපගේ හිසෙහියම් මල්මාලාවක් වේද, මඤ්ජුසක දිව්‍ය වෘක්ෂය මෙන් සියලු දිශාවෙහි සුවඳ හමයි.”
736. “ඔබ යහපත් සුවඳ සිඹින්නෙහිය. මනුෂ්‍යත්වය ඉක්මවා සිටි රූප බලන්නෙහිය. විචාරණලද දේවතාව කියන්න මේ කිනම් කර්මයක්හුගේ ප්‍රතිඵලද?”
737. “ස්වාමීනි, මගේ යෙහෙළිය සැවැත් නුවර සංඝයා උදෙසා මහත් විහාරයක් කරවූවාය. මම ඊට පැහැදී අනුමෝදන්වීමි. ඒ ගෙයද දැක එය මට ප්‍රියද විය.”
738. “මාගේ පිරිසිදු ඒ අනුමෝදනාවෙන් දර්ශනීයවූ අද්භූතවූ විමානය ලබන ලදී. මගේ ඍද්ධියෙන් විමානය හාත්පසින් සොළොස් යොදුනක් අහසේ යයි.”
739. “කොටස් කර බෙදන ලද ප්‍රමාණවත්වූ කුළු ගෙවල් ඇති මේ විමානයෝ හාත්පසින් යොදුන් සියයක් දිලිසෙමින් ආලෝක පතුරුවත්.”
740. “මත්ස්‍යයන් විසින් ආශ්‍රය කරන ලද මෙහි පිහිටි මාගේ පොකුණුද පිරිසිදු ජලය ඇත්තේ පැහැදුණ රන්වන් වැලි අතුරණ ලද්දේද විය.”
741. “නොයෙක් පියුමෙන් ගැවසී ගත්තීය, සුදු නෙලුම් මලින් යුක්තය. වාතයෙන් කම්පාවූ ඒවා සුවඳ හමයි.”
742. “දඹද, කොස්ද, තල්ද, පොල් වනද නොසිටවූ නොයෙක් ගස්ද නිවාසය ඇතුලෙහි පහළවූහ.”
743. “නොයෙක් තූර්යයන් නාද කරනලද දිව්‍යාංගනා සමූහයන්ගෙන් ශබ්දවත්වූ මා යමෙක් සිහිනෙහුදු දක්නේද ඒ මනුෂ්‍යයාද ධනවතෙක්වේ.”
744. “මෙබඳු, පුදුමවූ, දැකුම්කළුවූ, සර්වප්‍රකාරයෙන් දිලියෙන විමානය මාගේ කුශල කර්මයෙන් උපන්නේය. පින් කරන්නට සුදුසුයි.”
745. “තොපගේ පිරිසිදු අනුමෝදනාවෙන් ලත් විමානය පුදුමය. දැකුම් කලුය, යම් ස්ත්‍රියක් ඒ දානය දුන්නීද, ඕ තොමෝ කොහි උපන්නීදැයි ඇගේ ගතිය කියනු මැනව.”
746. “ස්වාමීනි, මගේ යහළු ස්ත්‍රිය යම් තැනැත්තියක්වීද ඕතොමෝ සංඝයාට මහාවිහාරයක් කරවූවාය. දැනගත් ධර්මය ඇති ඕ දානයක් දී නිර්මාණරතී දෙවියන් අතර උපන්නාය.”
747. “ඒ සුනිර්මිත දිව්‍යපුත්‍රයාගේ භාර්යාවය. ඇගේ කුශල කර්ම විපාකය නොසිතිය හැකිය, ඕතොමෝ කොහි උපන්නීදැයි මේ යමක් විචාළෙහි නම් මම ඔබට අන්පරිද්දක් නොකියා ප්‍රකාශ කෙළෙමි.”
748. “එසේ හෙයින් වස්තු ඇත්තෝ සංඝයාට දන්දෙව්. අන්‍යයන්ද සමාදන් කරවව්. පැහැදුණ සිතින් ධර්මයද අසව් අතිශයින් දුර්ලභවූ මිනිසත් බව ලබන ලදී.”
749. “බ්‍රහ්මයාගේ ස්වරය ඇති රන්වන් සමක් ඇති බුදුහු යම් මාර්ගයක් මාර්ගයනට ප්‍රධානයයි ප්‍රකාශ කළාහුද, යම් තැනෙක්හි දක්ෂිණාව මහත් ඵලයෙන් යුක්තවේද වස්තු ඇත්තේ සංඝයාට දන් දෙව්.”