4. 5.
720. “එම්බා දෙවතා දුව, ඔසධී තාරකාව දසදිශා එකාලොක කරයිද, එමෙන් රම්‍යවූ වර්ණයෙන්ද ඒ ඔබ සිටින්නෙහිය.”
721. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තී ලබන ලද්දේද, කිනම් කාරණයකින් තීට මෙබඳු දිව්‍යානුභාවයක් පහළවේද, සිතට ප්‍රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
722. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්‍යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,”
723. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්‍රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්‍රකාශ කළාය.”
724. “මම අන්ධකවින්ද රටෙහිදී සූර්යවංශයෙහි උපන් බුදුරජාණන් වහන්සේට ඩෙබර යුෂ කකාරා හැදූ කැඳක් තෙලින් මිශ්‍රකොට දුම්කවා දුනිමි.”
725. “තිප්පිලි කරාබුනැටි සුදුලුනු මිශ්‍රකොට පැහැදුණ සිතින් ඍජුවූ බුදුන්ට දුනිමි.”
726. “සක්විති රජුගේ අගමෙහෙසුන්කම කරන්නාවූ සියලු අඟ පසඟින් කල්‍යාණවූ ස්වාමියාට මනාවූ දැකුම් ඇති යම් ස්ත්‍රියක් වේද, මේ කැඳ දානයෙන් සොළොස් කලාවෙන් කලාවක්වත් නොඅගනේය.”
727. “නිෂ්ක (කලං 25 බර) රන් කාසි සියයක්ද, අශ්වයෝ සියයක්ද, අශ්වතරයන් යෙදූ රථ සියයක්ද, මුතු මැණික් කොඬොල් පැළඳ කන්‍යාස්ත්‍රීන් සියයක්ද මේ කැඳ දානයාගේ සොලොස් කලාවෙන් කලාවක් පමණවත් නොඅගනේය.”
728. “උඩට නැගුණු නගුලිස් පමණ දළ ඇති හිමාල පර්වතයෙහි උපන් ඇත්තුද රන් ඇතිරි ඇති රනින් සැරසූ වස්ත්‍ර ඇති ඇත්තුද මේ කැඳ දානයට සොලොස් කලාවෙන් කලාවක්වත් නොඅගනෝය.”
729. “යමෙක්තෙම සතර මහා දිවයිනට රාජ්‍යකරන්නේද එක කැඳ දානයක දහසයෙන් කොටසක්වත් නොඅගනේය.”
කඤ්ජිකදායිකා විමානං.
4. 6.
730. “එම්බා දෙවතා දුව, ඔසධී තාරකාව දසදිශා එකාලොක කරයිද, එමෙන් රම්‍යවූ වර්ණයෙන්ද ඒ ඔබ සිටින්නෙහිය.”
731. “නටන්නාවූ ඔබගේ අංග ප්‍රත්‍යංගයන්ගෙන් ඇසිය යුතුවූ යහපත්වූ දිව්‍යශබ්දයෝ සර්වප්‍රකාරයෙන් නික්මෙත්.”
732. “නටවන්නාවූ තොපගේ අවයව වලින් සර්වප්‍රකාරයෙන් යහපත් හොඳ සුවඳවත් දිව සුවඳ හමයි.”
733. “කොන්ඩෙහි යම් පළඳනාවක්වේද කය සෙලවෙන කල්හි පඤ්චාංගික තූර්යයෙහි මෙන් ඔවුන්ගේ ශබ්දය ඇසෙයි.”
734. “වාතයෙන් සොලවනලද, වාතයෙන් විශේෂයෙන් කම්පාකරනලද මුදුන්මල්කඩක් වේද, පඤ්චාංගික තූර්යයන්හි මෙන් ඔවුන්ගේ ශබ්දය ඇසෙයි.”
735. “යහපත් සුවඳ ඇති, යහපත්වූ තොපගේ හිසෙහියම් මල්මාලාවක් වේද, මඤ්ජුසක දිව්‍ය වෘක්ෂය මෙන් සියලු දිශාවෙහි සුවඳ හමයි.”
736. “ඔබ යහපත් සුවඳ සිඹින්නෙහිය. මනුෂ්‍යත්වය ඉක්මවා සිටි රූප බලන්නෙහිය. විචාරණලද දේවතාව කියන්න මේ කිනම් කර්මයක්හුගේ ප්‍රතිඵලද?”
737. “ස්වාමීනි, මගේ යෙහෙළිය සැවැත් නුවර සංඝයා උදෙසා මහත් විහාරයක් කරවූවාය. මම ඊට පැහැදී අනුමෝදන්වීමි. ඒ ගෙයද දැක එය මට ප්‍රියද විය.”
738. “මාගේ පිරිසිදු ඒ අනුමෝදනාවෙන් දර්ශනීයවූ අද්භූතවූ විමානය ලබන ලදී. මගේ ඍද්ධියෙන් විමානය හාත්පසින් සොළොස් යොදුනක් අහසේ යයි.”
739. “කොටස් කර බෙදන ලද ප්‍රමාණවත්වූ කුළු ගෙවල් ඇති මේ විමානයෝ හාත්පසින් යොදුන් සියයක් දිලිසෙමින් ආලෝක පතුරුවත්.”