4. 11. ඛච්ච විමාන කථාව
820. “එම්බා දෙවතා දුව, ඔසධී තාරකාව දසදිශා එකාලොක කරයිද, එමෙන් රම්යවූ වර්ණයෙන්ද ඒ ඔබ සිටින්නෙහිය.
821. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තී ලබන ලද්දේද, කිනම් කාරණයකින් තීට මෙබඳු දිව්යානුභාවයක් පහළවේද, සිතට ප්රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
822. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද, දෙවතාව, කිනම් කරුණකින් ඔබ නිර්මල කාන්ති ඇති අනිත් දෙවතාවන් ඉක්මවා බබලයිද, ඔබගේ සියලු ශරීරයෙන් කිනම් කරුණක් නිසා සියලු දිශාවෝ බබළත්ද?”
823. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළාය.
824. “මම මනුෂ්යයන් අතර මනුෂ්යයෙක්වූවා සිල්වත් ශ්රමණයන් ඇඳිලි කෙළෙමි.
825. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
826. “මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තී වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.”
චන්දන විමානං.
4. 12. රජ්ජු මාලා විමාන කථාව
827. “එම්බා දිව්යාංගනාව යම්බඳුවූ තී යහපත් වර්ණයෙන් සිටින්නෙහිද, මනා වාදනය ඇති කල්හි අත්පා වලින් වෙන් වෙන්ව නටන්නීය.
828. “නටන්නාවූ ඔබගේ අංග ප්රත්යංගයන්ගෙන් ඇසිය යුතුවූ යහපත්වූ දිව්යශබ්දයෝ සර්වප්රකාරයෙන් නික්මෙත්.
829. “නටවන්නාවූ තොපගේ අවයව වලින් සර්වප්රකාරයෙන් යහපත් හොඳ සුවඳවත් දිව සුවඳ හමයි.
830. “කොන්ඩෙහි යම් පළඳනාවක්වේද කය සෙලවෙන කල්හි පඤ්චාංගික තූර්යයෙහි මෙන් ඔවුන්ගේ ශබ්දය ඇසෙයි.
831. “වාතයෙන් සොලවනලද, වාතයෙන් විශේෂයෙන් කම්පාකරනලද මුදුන්මල්කඩක් වේද, පඤ්චාංගික තූර්යයන්හි මෙන් ඔවුන්ගේ ශබ්දය ඇසෙයි.
832. “යහපත් සුවඳ ඇති, යහපත්වූ තොපගේ හිසෙහියම් මල්මාලාවක් වේද, මඤ්ජුසක දිව්ය වෘක්ෂය මෙන් සියලු දිශාවෙහි සුවඳ හමයි.
833. “ඔබ යහපත් සුවඳ සිඹින්නෙහිය. මනුෂ්යත්වය ඉක්මවා සිටි රූප බලන්නෙහිය. විචාරණලද දේවතාව කියන්න මේ කිනම් කර්මයක්හුගේ ප්රතිඵලද?”