4. 12. රජ්ජු මාලා විමාන කථාව
827. “එම්බා දිව්‍යාංගනාව යම්බඳුවූ තී යහපත් වර්ණයෙන් සිටින්නෙහිද, මනා වාදනය ඇති කල්හි අත්පා වලින් වෙන් වෙන්ව නටන්නීය.
828. “නටන්නාවූ ඔබගේ අංග ප්‍රත්‍යංගයන්ගෙන් ඇසිය යුතුවූ යහපත්වූ දිව්‍යශබ්දයෝ සර්වප්‍රකාරයෙන් නික්මෙත්.
829. “නටවන්නාවූ තොපගේ අවයව වලින් සර්වප්‍රකාරයෙන් යහපත් හොඳ සුවඳවත් දිව සුවඳ හමයි.
830. “කොන්ඩෙහි යම් පළඳනාවක්වේද කය සෙලවෙන කල්හි පඤ්චාංගික තූර්යයෙහි මෙන් ඔවුන්ගේ ශබ්දය ඇසෙයි.
831. “වාතයෙන් සොලවනලද, වාතයෙන් විශේෂයෙන් කම්පාකරනලද මුදුන්මල්කඩක් වේද, පඤ්චාංගික තූර්යයන්හි මෙන් ඔවුන්ගේ ශබ්දය ඇසෙයි.
832. “යහපත් සුවඳ ඇති, යහපත්වූ තොපගේ හිසෙහියම් මල්මාලාවක් වේද, මඤ්ජුසක දිව්‍ය වෘක්ෂය මෙන් සියලු දිශාවෙහි සුවඳ හමයි.
833. “ඔබ යහපත් සුවඳ සිඹින්නෙහිය. මනුෂ්‍යත්වය ඉක්මවා සිටි රූප බලන්නෙහිය. විචාරණලද දේවතාව කියන්න මේ කිනම් කර්මයක්හුගේ ප්‍රතිඵලද?”
834. “පෙර මම ගයා රටෙහි බ්‍රාහ්මණයෙකුගේ දාසියක් වීමි. ස්වල්ප පින් ඇත්තාවූ අප්‍රසිද්ධවූ මාර රජ්ජු මාලායයි දනිත්.
835. “ආක්‍රොශයන්ටද, වධයන්ටද, තර්ජනයටද, යටවූවා, කළයක් ගෙන නික්ම දිය ගෙන ඒමට ගියෙමි.
836. “පාර අසළ කළය තබා වන ලැහැබට ගියෙමි. ජීවත්වීමෙන් කිනම් ප්‍රයෝජනද මෙහි මැරෙමියි (කියා)යි.
837. “තද තොණ්ඩුවක් ගසාගෙන ගසක ගැටගසා වනයෙහි කවරෙක් සිටින්නේ දැයි දිශා බැලුවෙමි.
838. “වෘක්ෂ මූලයක උන්නාවූ ධ්‍යාන කරන්නාවූ කිසි බියක් නැති සියලු ලෝකයාට හිතවත්වූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
839. “කවරෙක් වනයෙහි සිටින්නේද, මනුෂ්‍යයෙක්ද නැතහොත් දෙවතාවෙක් දැයි මට සංවෙගයක්ද, පුදුමයක්ද, ලොමු දැහැ ගැන්මක්ද, විය.
840. “වනයන් නිවීමට පැමිණි සතුට ගෙනදෙන ප්‍රසාද ඵල වන්නහු දැක මේ එසේ මෙසේ සත්වයෙක් නොවේයයි මගේ සිත පැහැදුණේය.
841. “රකින ලද ඉඳුරන් ඇති ධ්‍යානයෙහි ඇලුණු සිහිබුද්ධිය ඇති සියලු ලෝකයාට හිතවත්වූ මේ තෙමේ බුදුරද වන්නේය.
842. “ගුහාව ඇසුරු කරන සිංහයෙකු මෙන් බිය හා භයානක අරමුණු ඇති, ළංවිය නොහැකි මේ තෙමේ දිඹුල් මල් සේ දකින්නට දුර්ලභය.
843. “ඒ තථාගතයන් වහන්සේ ප්‍රිය වචන වලින් මට ‘රජ්ජු මාලාවෙනියි’ කථා කොට ‘තථාගතවූ මා සරණ යවයි’ වදාළසේක.
844. “ඒ මම කෙළතොළු නොවූ අර්ථ ඇති පිරිසිදුවූ සියුම්වූ, මෘදුවූ යහපත්වූ සියලු ශොක දුරු කරන්නාවූ වචනය අසා.
845. “පැහැදුණු පිරිසිදු සිත් ඇති මා යහපත් සිත් ඇත්තකැයි දැන සියලු ලෝකයට හිතවත්වූ තථාගත තෙම මට අනුශාසනා කෙළේය.
846. “මේ දුකයයි මට කී සේක. මේ දුක පහළවීමය. මේ නිවණය, මේ නිවණට බැසගත් අඤ්ජස යයි කියන ලද මාර්ගය යයි කීසේක.
847. “යහපතට අනුකම්පා කරන්නහුගේ අවවාදයෙහි මම පිහිටියෙමි, චුතනොවන නිර්වාණයවූ අමෘත ශාන්තියට පැමිණියෙමි.