6. 9.
උපාතිසුත්තං
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ රෑ මහගන අඳුරෙහි තෙල්පහන් දැල්වෙන කල්හි විහාර මලුවෙහි වැඩහුන්සේක. එකල්හි වනාහි බොහෝ පලඟැටියෝ ඒ තෙල් පහන්වල අභිමුඛව වැටීමද කරකැවී වැටීමද කොට දුකටද පැමිණෙත්. විනාශයටද පැමිණෙත්, අනයව්‍යසනයටද පැමිණෙත්. භාග්‍යවතුන් වහන්සේ ඒ තෙල්පහන්වල අභිමුඛව වැටීමටද කරකැවීවැටීමටද පැමිණෙන්නාවූද දුකට පැමිණෙන්නාවූද මරණයට පැමිණෙන්නාවූද අනයව්‍යසනයට පැමිණෙන්නාවූද ඒ බොහෝ පලඟැටියන් දුටුසේක්මය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළසේක:
“මෙසේ ඇතැම් මහණ බමුණෝ (තමා විසින්) චක්ෂුර් විඥානයෙන් දෘෂ්ටීන් දැකීමෙන් හෝ ස්‍රොත විඥානයෙන් ආරන්වය ලැබීම් පමණින් හෝ මෙසේයයි පිහිටියාහු සාරයට නොපැමිණෙත්, ඉක්මවායෙත්, එසේ ගන්නාහු තෘෂ්ණා දෘෂ්ටිනම්වූ අලුත් අලුත් බන්ධන වඩත්, පහනෙහි (වැටෙන) මේ පළඟැටියන්මෙන් වැටෙත්යයි.”
6. 10.
තථාගතුප්පාදසුත්තං.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන්වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීයේය: “ස්වාමීනි, යම් පමණ කලෙක්හි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි නොඋපදීද්ද ඒතාක් අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ සත්කාර කරන ලද්දාහු වෙත්, ගෞරව කරනලද්දාහුවෙත්, බුහුමන් කරන ලද්දාහු වෙත්, පුදන ලද්දාහුවෙත්, සලකනලද්දාහු වෙත්, සිවුරුය පිණ්ඩපාතය සෙනසුන්ය ගිලනුන්ට ප්‍රත්‍යයවූ බෙහෙත් පිරිකරය (යන මේවා) ලබන්නාහුවෙත්. යම් කලෙක්හි වනාහි පූජාවන් පිළිගැනීමට සුදුසුවූ චතුස්සත්‍ය ධර්මයන් මනාව අවබෝධ කළාවූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදිද්ද, එකල්හි වනාහි අන්තොටු පිරිවැජියෝ සත්කාර නොකරනලද්දාහු වෙති, ගෞරව නොකරනලද්දාහු වෙති, බුහුමන් නොකරනලද්දාහුවෙති, නොපුදනලද්දාහුවෙති, නොසලකනලද්දාහුවෙති, සිවුරුය ආහාරය සෙනසුන්ය ගිලන්පස බෙහෙත්බඩු නොලබන්නාහුවෙති. ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේද භික්ෂු සංඝයාද සත්කාර කරන ලද්දාහුය, ගෞරව කරන ලද්දාහුය, බුහුමන් කරන ලද්දාහුය, පුදනලද්දාහුය, සලකන ලද්දාහුය, සිවුරුය පිණ්ඩපාතය සෙනසුන්ය ගිලන්පස බෙහෙත් බඩු ලබන්නාහුය.”
“ආනන්දය, මේ කාරණය එසේමය. ආනන්දය, යම්තාක් කල් අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි නොඋපදිද්ද, ඒතාක් අන්තොටු පිරිවැජියෝ සත්කාරකරන ලද්දාහුවෙති, ගෞරව කරන ලද්දාහුවෙති. බුහුමන් කරන ලද්දාහුවෙති, පුදන ලද්දාහුවෙති, සලකන ලද්දාහුවෙති, සිවුරුය පිණ්ඩපාතය සෙනාසනය ගිලනුන්ට ප්‍රත්‍යයවූ බෙහෙත්බඩු ලබන්නාහුවෙති. ආනන්දය, යම්කලෙක වනාහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදිද්ද, එකල්හි වනාහි අන්තොටු පිරිවැජ්ජෝ සත්කාර නොකරන ලද්දාහුවෙති. ගෞරව නොකරන ලද්දාහු වෙති, බුහුමන් නොකරන ලද්දාහුවෙති, නොපුදන ලද්දාහු වෙති, නොසලකන ලද්දාහුවෙති, සිවුරුය අහරය සෙනසුන්ය ගිලන්පස බෙහෙත් පිරිකරය නොලබන්නාහුවෙති. මේ කාලයෙහි තථාගතයන් වහන්සේද භික්ෂු සංඝයාද සත්කාර කරන ලද්දාහුය, ගෞරව කරන ලද්දාහුය බුහුමන් කරන ලද්දාහුය, පුදන ලද්දාහුය, සලකන ලද්දාහුය, සිවුරුය පිණ්ඩපාතය සෙනසුන්ය ගිලන්පස බෙහෙත් පිරිකරද ලබන්නාහුය.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය හැම අයුරෙන් දැන ඒ වේලාවෙහි මේ උදානය පහළ කළසේක:
“යම්තාක් පභංකරයයි නම් ලද හිරු උදානොවේද, ඒතාක් කණමැදිරිතෙම බබළයි, අඳුරු නසා බබළන්නාවූ හිරු උදාවූ කල්හි (කණමැදිරිතෙම) නැසුණු එළිය ඇත්තේවෙයි, නොම බබළයි.
යම්තාක් සම්බුදුන් වහන්සේ ලෝකයෙහි නොඋපදිද්ද, එපරිද්දෙන් තීර්ථක සමූහයා බැබළුණේමවෙයි, තීර්ථකයෝ නොහොබිත්, ඔවුන්ගේ ශ්‍රාවකයෝද නොහොබිත් මිසදිටුවෝ (සසර) දුකින් නොමිදෙත්”
ජච්චන්ධවග්ගො ඡට්ඨො.
එහි උද්දානය
ආයු, ජටිල, වෙක්ඛණ යන සූත්‍ර තුනය, තිත්ථිය සූත්‍ර තුනය, සුභූති සූත්‍රය,
ගණිකා සූත්‍රය, උපාති සූත්‍රය, නවවන දසවන සූත්‍ර යයි (සූත්‍ර) දසයකි.