6. 10.
තථාගතුප්පාදසුත්තං.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන්වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේට මේ කරුණ කීයේය: “ස්වාමීනි, යම් පමණ කලෙක්හි අර්හත්වූ සම්යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි නොඋපදීද්ද ඒතාක් අන්යතීර්ථක පරිබ්රාජකයෝ සත්කාර කරන ලද්දාහු වෙත්, ගෞරව කරනලද්දාහුවෙත්, බුහුමන් කරන ලද්දාහු වෙත්, පුදන ලද්දාහුවෙත්, සලකනලද්දාහු වෙත්, සිවුරුය පිණ්ඩපාතය සෙනසුන්ය ගිලනුන්ට ප්රත්යයවූ බෙහෙත් පිරිකරය (යන මේවා) ලබන්නාහුවෙත්. යම් කලෙක්හි වනාහි පූජාවන් පිළිගැනීමට සුදුසුවූ චතුස්සත්ය ධර්මයන් මනාව අවබෝධ කළාවූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදිද්ද, එකල්හි වනාහි අන්තොටු පිරිවැජියෝ සත්කාර නොකරනලද්දාහු වෙති, ගෞරව නොකරනලද්දාහු වෙති, බුහුමන් නොකරනලද්දාහුවෙති, නොපුදනලද්දාහුවෙති, නොසලකනලද්දාහුවෙති, සිවුරුය ආහාරය සෙනසුන්ය ගිලන්පස බෙහෙත්බඩු නොලබන්නාහුවෙති. ස්වාමීනි, දැන් භාග්යවතුන් වහන්සේද භික්ෂු සංඝයාද සත්කාර කරන ලද්දාහුය, ගෞරව කරන ලද්දාහුය, බුහුමන් කරන ලද්දාහුය, පුදනලද්දාහුය, සලකන ලද්දාහුය, සිවුරුය පිණ්ඩපාතය සෙනසුන්ය ගිලන්පස බෙහෙත් බඩු ලබන්නාහුය.”
“ආනන්දය, මේ කාරණය එසේමය. ආනන්දය, යම්තාක් කල් අර්හත්වූ සම්යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි නොඋපදිද්ද, ඒතාක් අන්තොටු පිරිවැජියෝ සත්කාරකරන ලද්දාහුවෙති, ගෞරව කරන ලද්දාහුවෙති. බුහුමන් කරන ලද්දාහුවෙති, පුදන ලද්දාහුවෙති, සලකන ලද්දාහුවෙති, සිවුරුය පිණ්ඩපාතය සෙනාසනය ගිලනුන්ට ප්රත්යයවූ බෙහෙත්බඩු ලබන්නාහුවෙති. ආනන්දය, යම්කලෙක වනාහි අර්හත්වූ සම්යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදිද්ද, එකල්හි වනාහි අන්තොටු පිරිවැජ්ජෝ සත්කාර නොකරන ලද්දාහුවෙති. ගෞරව නොකරන ලද්දාහු වෙති, බුහුමන් නොකරන ලද්දාහුවෙති, නොපුදන ලද්දාහු වෙති, නොසලකන ලද්දාහුවෙති, සිවුරුය අහරය සෙනසුන්ය ගිලන්පස බෙහෙත් පිරිකරය නොලබන්නාහුවෙති. මේ කාලයෙහි තථාගතයන් වහන්සේද භික්ෂු සංඝයාද සත්කාර කරන ලද්දාහුය, ගෞරව කරන ලද්දාහුය බුහුමන් කරන ලද්දාහුය, පුදන ලද්දාහුය, සලකන ලද්දාහුය, සිවුරුය පිණ්ඩපාතය සෙනසුන්ය ගිලන්පස බෙහෙත් පිරිකරද ලබන්නාහුය.”
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ අර්ථය හැම අයුරෙන් දැන ඒ වේලාවෙහි මේ උදානය පහළ කළසේක:
“යම්තාක් පභංකරයයි නම් ලද හිරු උදානොවේද, ඒතාක් කණමැදිරිතෙම බබළයි, අඳුරු නසා බබළන්නාවූ හිරු උදාවූ කල්හි (කණමැදිරිතෙම) නැසුණු එළිය ඇත්තේවෙයි, නොම බබළයි.
යම්තාක් සම්බුදුන් වහන්සේ ලෝකයෙහි නොඋපදිද්ද, එපරිද්දෙන් තීර්ථක සමූහයා බැබළුණේමවෙයි, තීර්ථකයෝ නොහොබිත්, ඔවුන්ගේ ශ්රාවකයෝද නොහොබිත් මිසදිටුවෝ (සසර) දුකින් නොමිදෙත්”
ජච්චන්ධවග්ගො ඡට්ඨො.
එහි උද්දානය
ආයු, ජටිල, වෙක්ඛණ යන සූත්ර තුනය, තිත්ථිය සූත්ර තුනය, සුභූති සූත්රය,
ගණිකා සූත්රය, උපාති සූත්රය, නවවන දසවන සූත්ර යයි (සූත්ර) දසයකි.
ගණිකා සූත්රය, උපාති සූත්රය, නවවන දසවන සූත්ර යයි (සූත්ර) දසයකි.
7. චුල්ල වර්ගය
7. 1.
1. ලකුණ්ටක භද්දික සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරතෙම ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය තෙරුන්ට නොඑක් කාරණයෙන් දැහැමිකතාවෙන් මනාව දක්වයි, මනාව ගන්වයි, මනාව තියුණු කරවයි, මනාව ප්රීතිකරවයි. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් විසින් නොඑක් කාරණයෙන් දැහැමිකතාවෙන් දක්වනු ලබන්නාවූ ගන්වනු ලබන්නාවූ මනාව පිරිසිදු කරවනු ලබන්නාවූ මනාව සතුටු කරවනු ලබන්නාවූ ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය තෙරුන්ගේ සිත උපාදාන රහිතව ආශ්රවයන්ගෙන් මිදුණේය. භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් විසින් නොඑක් කාරණයෙන් ධාර්මික කථාවෙන් මනාව දක්වනු ලබන්නාවූ මනාකොට ගන්වනු ලබන්නාවූ, මනාව පිරිසිදු කරවනු ලබන්නාවූ, මනාව සතුටු කරවනු ලබන්නාවූ, උපාදාන වශයෙන් නොගෙන ආශ්රවයන්ගෙන් සිත මිදුනාවූ ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය තෙරුන් දුටුසේක්මය.
2. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ ඒ කරුණ දැන ඒ වේලාවෙහි මේ උදන් පහළ කළසේක:
“(යමෙක්) උඩයට සියලු සංස්කාරයෙහි මිදුනේ වේද, අතීත කාලයෙහිද අනාගත කාලයෙහිද කාමාදි සියලු භවයෙහිද හැම භවයෙහිද මිදුනේවේද, පුද්ගලතෙම නොබලයි, නොමදක්නේය, මෙසේ මිදුනාවූ රහත්තෙම අනුපාදිශෙෂ නිර්වානධාතුව පිණිස එතෙර කෙළේයයි.”
7. 2.
2. (සෙක්ඛ) ලකුණ්ටක භද්දිය සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිර තෙම ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය තෙරුන් ශෛක්ෂයෙකැයි හඟිමින් ප්රමාණය ඉක්මවා වැඩියක් නොඑක් කාරණයෙන් දැහැමිකතාවෙන් මනාව දක්වයි, මනාව ගන්වයි, මනාව පිරිසිදු කරවයි, මනාව සතුටු කරවයි. භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය තෙරුන් හික්මෙන්නෙකැයි හඟිමින් ප්රමාණය ඉක්මවා වැඩියක් නොඑක් කාරණයෙන් දැහැමි කතාවෙන් මනාව දක්වන්නාවූ මනාව සමාදන් කරවන්නාවූ මනාව පිරිසිදු කරවන්නාවූ මනාව සතුටු කරවන්නාවූ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුටුසේක්මය.
2. එකල්හි භාග්යවතුන් වහන්සේ ගඳකිළියෙහි වැඩහුන්සේක්ම බුද්ධානුභාවයෙන් යම්සේ දම්සෙනෙවි සැරියුත් තෙර ලකුණ්ටක භද්දිය තෙරුන්ගේ කෙලෙස් ක්ෂය කිරීම දැනගනීද (එසේ) ඒ කාරණය දැන ඒ වෙලාවෙහි මේ ප්රීති වාක්යය පහළ කළසේක:
“(නිරවශෙෂයෙන් ක්ලෙශ) වෘත්තය සහමුලින් සින්දේය තෘෂ්ණාව නැති නිවනට විශේෂයෙන් පැමිණියේය. තෘෂ්ණා නමැති ගංගාතොමෝ නිරවශෙෂයෙන් වියලන ලදු, නොගලයි සිඳිනලද කමවට නොපවතී. එනොඉපදවීමම සියලු සසර දුකෙහි කෙළවරවේ.”