6. 8.
ගණිකාසුත්තං
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර වේළුවන නම්වූ කලන්දකනිවාපයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රජගහනුවර සමූහ දෙකක මිනිස්සු එක්තරා වෙසඟනක කෙරෙහි ඇලුනාහුවෙත්, පිළිබඳ සිත් ඇත්තාහු හටගත් ඩබර ඇත්තාහු උපන් කෝලාහල ඇත්තාහු විරුද්ධවාදයට පැමිණියාහු එකිනෙකා අතින්ද ගසත්, කැට කැබලිතිවලින්ද ගසත්, මුගුරුවලින්ද ගසත්, ශස්ත්රවලින්ද ගසත්. ඔහු එහි මරණයටද පැමිණෙත්, මරණය සමාන දුකටද පැමිණෙත්.
ඉක්බිති බොහෝ භික්ෂූහු පෙරවරු එක් වේලාවෙක්හි හැඳ පොරවා පාත්රසිවුරුගෙන රජගහ නුවරට පිඬු පිණිස පැමිණියාහුය. රජගහනුවර පිඬුසිඟා ඇවිද පස්වරුයෙහි පිඬු සෙවීමෙන් වැළකුණාහු භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන්නාවූම ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙය කීහ. “ස්වාමීනි, මේ රජගහනුවර සමූහ දෙකක මිනිස්සු එක්තරා වෙසඟනක කෙරෙහි ඇලුනාහුවෙත්... ඔවුහු එහි මරණයටද පැමිණෙත්, මරණය සමාන දුකටද පැමිණෙත්”යයි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වෙලාවෙහි, මේ ප්රීති වාක්ය පහළ කළසේක:
“යටත් පිරිසෙන් විඳින ලද යම් (පස්කම්) සුවයක් වේද, මතු ලැබිය යුතු යම් (පස්කම්) සුවයක් වේද, මේ දෙකම (රාගාදී) ක්ලේශයෙන් ගැවසී ගත්තේය. දුකින් පෙළුනාවූ (තවුසාට) පැමිණියාවූ යම් ආත්ම පරිතාපනයෙක් (-තැවීමෙක්) වේද, ඒ දෙකම දුක් රජසින් ගැවසී ගත්තේය.
යම් කෙනෙක් වනාහි ශික්ෂාව සාරකොට ඇත්තාහු වෙත්. ශීලයද ව්රතයද පලා අනුභව කරන බව වූ චූල ජීවිකාවද බඹසරද මෙසේ සාරයෝයයි කියන්නාහුවෙද්ද, මේ එක් අන්තයෙක්මය.
‘කාමයන්හි දොසෙක් නැතැයි’ මේ කාම සුඛල්ලිකානුයොගය දෙවන අන්තයවේ. මෙසේ මේ අන්ත දෙක කටසි නම්වූ අවිද්යා තෘෂ්ණාවන් වඩන්නාහු වෙත්, ඒ කටසි නම්වූ තෘෂ්ණ අවිද්යාවෝ දෘෂ්ටීහු වඩත්, මේ අන්ත දෙක නොදැනීම හේතු කොටගෙන ඇතැම් කෙනෙක් හැකිලීමට පැමිණෙත්, ඇතැම් කෙනෙක් අතිධාවනය කෙරෙත්. යම් ඒ ආර්යපුද්ගල කෙනෙක් වනාහි ඒ අන්ත දෙක විශිෂ්ඨවූ විදර්ශනාඥානය සහිත මාර්ග ප්රඥාවෙන් දැන ඒ අන්ත දෙක්හි වැටුනෝ නොවූවාහුද, ඒ ආර්ය පුද්ගලයෝ ඒ අන්තදෙක පහකිරීමෙන් නොසිතූහ. ඒ උත්තම පුරුෂයන්ගේ පැනවීම පිණිස වෘත්තය නැත.”
6. 9.
උපාතිසුත්තං
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ රෑ මහගන අඳුරෙහි තෙල්පහන් දැල්වෙන කල්හි විහාර මලුවෙහි වැඩහුන්සේක. එකල්හි වනාහි බොහෝ පලඟැටියෝ ඒ තෙල් පහන්වල අභිමුඛව වැටීමද කරකැවී වැටීමද කොට දුකටද පැමිණෙත්. විනාශයටද පැමිණෙත්, අනයව්යසනයටද පැමිණෙත්. භාග්යවතුන් වහන්සේ ඒ තෙල්පහන්වල අභිමුඛව වැටීමටද කරකැවීවැටීමටද පැමිණෙන්නාවූද දුකට පැමිණෙන්නාවූද මරණයට පැමිණෙන්නාවූද අනයව්යසනයට පැමිණෙන්නාවූද ඒ බොහෝ පලඟැටියන් දුටුසේක්මය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්රීතිවාක්යය පහළ කළසේක:
“මෙසේ ඇතැම් මහණ බමුණෝ (තමා විසින්) චක්ෂුර් විඥානයෙන් දෘෂ්ටීන් දැකීමෙන් හෝ ස්රොත විඥානයෙන් ආරන්වය ලැබීම් පමණින් හෝ මෙසේයයි පිහිටියාහු සාරයට නොපැමිණෙත්, ඉක්මවායෙත්, එසේ ගන්නාහු තෘෂ්ණා දෘෂ්ටිනම්වූ අලුත් අලුත් බන්ධන වඩත්, පහනෙහි (වැටෙන) මේ පළඟැටියන්මෙන් වැටෙත්යයි.”