6. 5.
(ද්විතීය) තීර්ථය සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි නොඑක් ලබ්ධි ඇත්තාවූ නොඑක් ක්ෂාන්ති ඇත්තාවූ නොඑක් රිසි ඇත්තාවූ නොඑක් ලබ්ධියට හේතු ඇසුරු කළාවූ බොහෝ නන්තොටුවෝද ශ්රමණයෝද බමුණෝද පිරිවැජියෝද සැවැත් නුවරට ඇතුළු වී වෙසෙති, නොඑක් දෘෂ්ටි ඇත්තෝව නොඑක් රුචි ඇත්තෝව නොඑක් ලබ්ධි ඇත්තෝව නොඑක් දෘෂ්ටි නිශ්රය ඇසුරු කළවුන්ව වෙසෙත්.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘ආත්මයද ලෝකයද සදාකාලිකය (නිත්යය), මෙයම සත්යය, අන්ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘ආත්මයද ලෝකයද සදාකාලික නොවන්නේය (අනිත්යය), මෙයම සත්යය, අන්ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘ආත්මයද ලෝකයද සදාකාලිකත් වෙයි, සදාකාලික නොවන්නේත් වෙයි, මෙයම සත්යය, අන්ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘ආත්මයද ලෝකයද සදාකාලිකත් නොවෙයි, සදාකාලික නොවන්නේත් නොවෙයි, මෙයම සත්යය, අන්ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘ආත්මයද ලෝකයද තමා විසින්ම කරන ලද්දේය, මෙයම සත්යය, අන්ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘ආත්මයද ලෝකයද අන්යයෙකු විසින් කරන ලද්දේය, මෙයම සත්යය, අන්ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘ආත්මයද ලෝකයද තමා විසින් කරන ලද්දේත් වෙයි අන්යයෙකු විසින් කරන ලද්දේත් වෙයි, මෙයම සත්යය, අන්ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘ආත්මයද ලෝකයද තමා කළේත් නැත අනිකෙක් කළේත් නැත (ඉබේ) සමුප්පන්න වූයේය, මෙයම සත්යය, අන්ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘සුවදුක් දෙකද ආත්මයද ලෝකයද සදාකාලිකය, මෙයම සත්යය, අන්ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘සුවදුක් දෙකද ආත්මයද ලෝකයද සදාකාලික නොවන්නේය, මෙයම සත්යය, අන්ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘සුවදුක් දෙකද ආත්මයද ලෝකයද සදාකාලිකත් වෙයි සදාකාලික නොවන්නේත් වෙයි, මෙයම සත්යය, අන්ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘සුවදුක් දෙකද ආත්මයද ලෝකයද සදාකාලිකත් නොවෙයි සදාකාලික නොවන්නේත් නොවෙයි, මෙයම සත්යය, අන්ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘සුවදුක් දෙකද ආත්මයද ලෝකයද තමා විසින්ම කරන ලද්දේය, මෙයම සත්යය, අන්ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘සුවදුක් දෙකද ආත්මයද ලෝකයද අන්යයෙකු විසින් කරන ලද්දේය, මෙයම සත්යය, අන්ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘සුවදුක් දෙකද ආත්මයද ලෝකයද තමා විසින් කරන ලද්දේත් වෙයි අන්යයෙකු විසින් කරන ලද්දේත් වෙයි, මෙයම සත්යය, අන්ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘සුවදුක් දෙකද ආත්මයද ලෝකයද තමා කළේත් නැත අනිකෙක් කළේත් නැත (ඉබේ) සමුප්පන්න වූයේය, මෙයම සත්යය, අන්ය දර්ශන හිස්ය’යි.
ඔව්හු ‘ධර්මය එබඳුය, ධර්මය මෙබඳු නොවෙයි. මෙබඳු වූයේ ධර්මය නොවෙයි, එබඳුවූයේ ධර්මය වේ’යයි හටගත් ඩබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විරුද්ධවාදයට පැමිණියාහු එකිනෙකා මුවසැතින් විදින්නාහු වාසය කෙරෙත්.
ඉක්බිති බොහෝ භික්ෂූහු පෙරවරුයෙහි හැඳ පොරවා පාත්ර සිවුරු රැගෙන සැවැත් නුවර පිඬු පිණිස වන්හ. සැවතෙහි පිඬු සිඟා ඇවිද පස්වරුයෙහි පිඬු සෙවීමෙන් වැළකුනාහු භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හි වෙසෙද්ද, එතැනට පැමිණියහ. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්හ. එක්පසෙක හුන්නාවුම ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ:
“ස්වාමීනි, මේ සැවැත් නුවර නොඑක් දෘෂ්ටි ඇත්තාවූ නොඑක් ක්ෂාන්ති ඇත්තාවූ නොඑක් රිසි ඇත්තාවූ නොඑක් ලබ්ධියට කරුණු ඇසුරුකළාවූ බොහෝවූ නොඑක් තීර්ථකයෝද ශ්රමණයෝද බ්රාහ්මණයෝද පිරිවැජියෝද වෙසෙති. සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘ආත්මයද ලෝකයද සදාකාලිකය මෙයම සත්යය අන්ය දර්ශන හිස්ය’යි ... ඔව්හු ‘ධර්මය එබඳුය, ධර්මය මෙබඳු නොවෙයි’ කියා ඩබර කරති.”
“මහණෙනි, අන්තොටු පිරිවැජ්ජෝ අන්ධවූවාහු (එහෙයින්ම) ප්රඥානමැති ඇස් නැත්තාහු අර්ථය නොදනිත් අනර්ථය නොදනිත්, ධර්මය නොදනිත්, අධර්මය නොදනිත්. ඔහු අරුත් නොදන්නාහු අවැඩ නොදන්නාහු දහම් නොදන්නාහු අදහම් නොදන්නාහු හටගත් ඩබර ඇත්තෝව හටගත් කෝලාහල ඇත්තෝව විරුද්ධවාදයට පැමිණියෝව ‘එබන්ද ධර්මයවෙයි, මෙබන්ද ධර්මය නොවෙයි, ධර්මය මෙබඳු නොවෙයි, ධර්මය එබඳු වේ’යයි ඔවුනොවුන් මුවසැතින් විදිමින් වාසය කෙරෙත්යයි.”
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ උදානය පහළ කළසේක:
“ඇතැම් මහණ බමුණෝ මේ දෘෂ්ටීන්හි ඇලෙත්, අහෝ අනිසය මුළාවකි. අතරම ‘ඔෂධ’ යයි කියන ලද නිවනට (නොහොත්) ඒ නිවනට පැමිණෙන උපායවූ ආර්යමාර්ගයට නොපැමිණම අතිසයින් ගැලෙත්” යයි.
6. 6.
තතිය නානාතිත්ථියසුත්තං
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි සැවතෙහි නොඑක් ලබ්ධි ඇත්තාවූ නොඑක් ක්ෂාන්ති ඇත්තාවූ නොඑක් කැමැත්ත ඇත්තාවූ නොඑක් ලබ්ධියට හෙතූන් ඇසුරුකළාවූ බොහෝවූ නන්තොටු ශ්රමණයෝද බ්රාහ්මණයෝද පිරිවැජියෝද වෙසෙති.