6. 2.
2. ජටිලාදිසත්තක සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර මිගාරමාතු පාසාද නම්වූ පූර්වාරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටියාහු ද්වාර කොට්ඨකයෙන් පිටත වැඩහුන් සේක.
ඉක්බිති කොසොල් රජ පසේනදී තෙම භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එසමයෙහි සත් දෙනෙක් ජටිලයෝද, සත් දෙනෙක් නිඝණ්ඨයෝද, සත් දෙනෙක් අචේලකයෝද, සත් දෙනෙක් ඒකසාටකයෝද, සත් දෙනෙක් පරිබ්රාජකයෝද, වැඩුණු කකුල් හා නියපොතු හා ලොම් ඇත්තාහු, නොයෙක් බඩු රැගෙන භාග්යවතුන් වහන්සේට නොදුරින් ගමන් කරති.
2. කොසොල් රජ පසේනදී තෙම ඒ සත් දෙනෙක් ජටිලයන්ද, සත් දෙනෙක් නිඝණ්ඨයන්ද, සත් දෙනෙක් අචේලකයන්ද, සත් දෙනෙක් ඒකසාටකයන්ද, සත් දෙනෙක් පරිබ්රාජකයන්ද, වැඩුණු කකුල් හා නියපොතු හා ලොම් ඇතිව, නොයෙක් බඩු රැගෙන භාග්යවතුන් වහන්සේට නොදුරින් ගමන් කරනු දැක හුනස්නෙන් නැගිට උතුරු සළුව ඒකාංශ කොට දකුණු දණ මඬල පොළවෙහි ඔබා ඒ සත් දෙනෙක් ජටිලයෝද, සත් දෙනෙක් නිඝණ්ඨයෝද, සත් දෙනෙක් අචේලකයෝද, සත් දෙනෙක් ඒකසාටකයෝද, සත් දෙනෙක් පරිබ්රාජකයෝද යම් තැනෙකද එතැනට ඇඳිලි බැඳ තෙවරක් නම කීවේය: “ස්වාමීනි, මම කොසොල් රජ පසේනදී වෙමි”යි.
3. ඉක්බිති කොසොල් රජ පසේනදී තෙම ඒ සත් දෙනෙක් ජටිලයන්ද, සත් දෙනෙක් නිඝණ්ඨයන්ද, සත් දෙනෙක් අචේලකයන්ද, සත් දෙනෙක් ඒකසාටකයන්ද, සත් දෙනෙක් පරිබ්රාජකයන්ද නොබෝ වේලාවකින් ගිය කල්හි භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේය, එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන් පසේනදී කොසොල් රජ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළේය: “ස්වාමීනි, යම් කෙනෙක් ලෝකයෙහි රහත්හු හෝ රහත් මගට පිළිපන්නාහු හෝ වෙද්ද, මොහු ඔවුන් අතුරින් ඇතැම් කෙනෙකි”යි.
“මහරජ, කාමභෝගීවූ, ගිහිවූ, දරුවන් හා සම්බාධ ඇති යහනෙහි වසන්නාවූ, කසී සළුවලින් හා සඳුන් පරිහරණය කරන්නාවූ, මල් ගඳ විලවුන් දරන්නාවූ, රන් රිදී ඉවසන්නාවූ ඔබ විසින් ‘මොහු රහත්හුය’ හෝ ‘මොහු රහත් මගට පිළිපන්නාහුය’යි මෙය දැනගැනීම දුෂ්කරය. මහරජ, එක්ව වාසය කිරීමෙන් සීලය දත යුතුය. එයද දීර්ඝ කාලයකිනි, ස්වල්ප කාලයකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින්මය, මෙනෙහි නොකරන්නහු විසින් නොවේ. ප්රඥාවන්තයා විසින්මය, දුෂ්ප්රඥයා විසින් නොවේ. මහරජ, ව්යවහාරයෙන් (කථා බහෙන්) පවිත්ර බව දත යුතුය, එයද දීර්ඝ කාලයකිනි -පෙ- දුෂ්ප්රඥයා විසින් නොවේ. මහරජ, විපත්ති වලදී ධෛර්යය දත යුතුය. එයද දීර්ඝ කාලයකිනි -පෙ- දුෂ්ප්රඥයා විසින් නොවේ. මහරජ, සාකච්ඡාවෙන් ප්රඥාව දත යුතුය. එයද දීර්ඝ කාලයකිනි -පෙ- දුෂ්ප්රඥයා විසින් නොවේ”යි.
4. “පුදුමයි ස්වාමීනි! අසිරිමත් ස්වාමීනි! භාග්යවතුන් වහන්සේ විසින් මෙය කොතරම් මැනවින් වදාරන ලද්දේද: ‘දුෂ්කරය මෙය දැනගැනීම -පෙ- රහත් මගට පිළිපන්නාහුය’යි, එක්ව වාසය කිරීමෙන් -පෙ- දුෂ්ප්රඥයා විසින් නොවේ’යි. ස්වාමීනි, මොහු මාගේ චර පුරුෂයෝය (ඔත්තුකරුවෝය). ජනපදය සෝදිසි කොට එති. ඔවුන් විසින් පළමුව සෝදිසි කරන ලද්දට මම පසුව යන්නෙමි. ස්වාමීනි, දැන් මොහු ඒ දූවිලි හා කුණු සෝදා හැර, නා, මැනවින් විලවුන් ගා, රැවුල් කොණ්ඩ කපා, සුදු වත් හැඳ, පස්කම් සැපයෙන් යුක්තව සමගිව (ඉඳුරන්) පිනවන්නාහුය”යි.
5. එකල්හි වනාහි භාග්යවතුන්වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්රීති වාකය පහළකළ සේක:-
“දූත මෙහෙවර ඔත්තුකාර කර්මාදි හැම (පාපධර්මයෙහි මේ රාජපුරුෂයන් මෙන් පැවිද්දා) වෑයම් නොකරන්නේය, (පැවිදි වෙසින්) අන්ය පුරුෂයෙකුගේ සේවක පුරුෂයෙක් නොවන්නේය. අන් (ප්රධානයෙකු) ජීවත් නොවන්නේය, අන්ය අකුශලකර්මයක් නිසා දිවි නොපවත් වන්නේය, ධනාදිය පිණිස දහම් නොකියන්නේය. ධර්මය හේතුකොට වෙළඳාම් නොකරන්නේය, එසේ ධර්මය හේතුකොට වෙළෙඳාම් නොකරන්නේයි.”