6. 3.
3. පච්චවෙක්ඛණ සූත්රය
1. එවං මෙ සුතං: එකං සමයං භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ තමන්වහන්සේගේ ප්රහීනවූ ලාමකවූ නොඑක් අකුශල ධර්මයන්ද, වැඩීමෙන් සම්පූර්ණ කරන ලද්දාවූ නොඑක් කුශල ධර්මයන්ද ප්රත්යවෙක්ෂා කරමින් වැඩහුන්සේක.
2. ඉක්බිති භාග්යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ප්රහානයවූ ලාමකවූ නොඑක් අකුශල ධර්මයන්ද වැඩීමෙන් සම්පූර්ණ කරන ලද්දාවූ නොඑක් කුශල ධර්මයන්ද මෙසේ නුවණින් සිහිකොට මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්රීතිවාක්ය ප්රකාශ කළසේක.
“පෙර (සියලුම රාගාදී ක්ලෙශ සමූහය මාගේ සන්තානයෙහි) වීය. එකල්හි (එය) නොවීද, (නොවීයයි), පූර්වයෙහි නොවීය, එකල්හි විය. (දැන් මාගේ) නොමවීද, නොවන්නේය, දැන් (ආර්ය මාර්ගය නොඑක්වාරයෙහි) නොඋපදී.)”
6. 4.
4. ප්රථම තීර්ථය සූත්රය
1. එකල්හි වනාහි අනෙක ප්රකාර දෘෂ්ටි ඇත්තාවූ නොඑක් ක්ෂාන්ති ඇත්තාවූ නොඑක් රුචි ඇත්තාවූ නන්වැදෑරුම් දෘෂ්ටියට කාරණයෙහි ඇලුනාවූ බොහෝවූ නොයෙක් ලබ්ධියෙහි නියුක්තවූ තීර්ථකයෝද ශ්රමණයෝද බමුණෝද පරිබ්රාජකයෝද සැවතට පිඬු පිණිස වදිත්.
ලෝකයෙහි ආත්මය (සදාකාලිකය) (අපගේ) මේ (දර්ශනයම සත්යය) අන්ය දර්ශනය හිස්ය (මිථ්යා දර්ශනයයි) මෙසේ කියන්නාවූ මෙසේ දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ විද්යමාන වෙත්.
ආත්මය සදාකාලික නොවේ. අපගේ (මේ දර්ශනයම සත්යය, අන්ය දර්ශන මිථ්යායයි මෙසේ කියන්නාවූ මෙසේ දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් ශ්රමණ බ්රාහ්මණයෝ විද්යමාන වෙත්.
ආත්මය කෙළවර ඇත්තේය, මේ අපගේ දර්ශන යම් සත්යය (අන්ය දර්ශනය) මිථ්යායයි මෙසේ කියන්නාවූ මෙසේ දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ වෙති.
ආත්මය කෙළවර නැත්තේය. මේ (අපගේ දර්ශනයම සත්යය අන්ය දර්ශනය හිස්යයි ඇත්තාහුය.
(යම් ශරීරයෙක් වේද එයම ජීව නම් වස්තුව වෙයි. (මේ අපගේ දර්ශනයම) සත්යය අන්ය දර්ශන හිස්යයි මෙසේ කියන්නාවූ මෙසේ දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ වෙති.
ජීවය අනිකෙක සිරුර අනෙකක, (අපගේ) මේ දර්ශනයම සත්යය අන්ය දර්ශන මිථ්යායයි මෙසේ කියන්නාවූ මෙසේ දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ විද්යමාන වෙත්.
සත්වතෙම මරණින් මත්තෙහි වන්නේය. මේ (අපගේ දර්ශනයම) සත්යය අන්යදර්ශන මිථ්යාවේයයි මෙසේ කියන්නාහු මෙසේ දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ වෙත්.
සත්ව තෙම මරණින් මත්තෙහි නොවෙයි. මේ (අපගේ දර්ශනයම) සත්යය අන්ය දර්ශන බොරුයයි මෙසේ කියන්නාවූ මෙසේ දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ.
සත්වතෙම මරණින් මත්තෙහි ඇත්තේත් වෙයි. නැත්තේද වේය. මේ (අපගේ දර්ශනයම) සත්යය අන්ය දර්ශන බොරුයයි මෙසේ කියන්නාවූ මෙසේ දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහුය.
ආත්මය මරණින් මත්තෙහි නොම වෙයි. නොවන්නේ නොවෙයි මේ අපගේ දර්ශනයම සැබෑය අන්ය දර්ශන බොරුයයි මෙසේ කියන්නාවූ මෙසේ දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහුය.
ඒ දෘෂ්ටි ගතිකයෝ හටගත් ඩබර ඇත්තාහු හටගත් කෝලාහල ඇත්තාහු විරුද්ධවාදයට පැමිණියාහු එකිනෙකා මුඛ නමැති අඩයටියෙන් අනින්නා රළුබස් කියන්නාහු විහරණය කෙරෙත්: 'මෙබඳු ධර්මයය, මෙබඳු ධර්මය නොවේ. මෙබඳු ධර්මය නොවේ, මෙබඳු ධර්මය වන්නේය”යි.
2. ඉක්බිති බොහෝ භික්ෂූහු පෙරවරුවෙහි එක් වේලාවෙක හැඳ පොරවා පාත්ර සිවුරු රැගෙන සැවතට පිඬුපිණිස වන්හ. සැවැත් නුවර පිඬු සිඟා හැසිර පස් වරුයෙහි පිඬු සෙවීමෙන් වැළකුණාහු භාග්යවතුන් වහන්සේ යම් තැනෙක (වෙසෙද්ද) එතැනට පැමිණියහ. පැමිණ භාග්යවතුන් වහන්සේට මනාව වැඳ එක් පැත්තක හුන්හ. එක් පැත්තක හුන්නාවූම ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මේ පුවත දැන්වූහ: “ස්වාමීනි, මේ සැවැත් නුවර නොඑක් දෘෂ්ටි ඇත්තාවූ නොඑක් ක්ෂාන්ති ඇත්තාවූ නොඑක් රුචි ඇත්තාවූ නොඑක් දෘෂ්ටියට හේතුන් ඇසුරු කළාවූ බොහෝවූ නොඑක් තීර්ථකයෝද නොඑක් ශ්රමණයෝද නොඑක් පිරිවැජියෝද සැවැත්නුවර වෙසෙති. ඇතැම් කෙනෙක් මෙසේ කියති -පෙ- ඩබර ඇත්තාහු 'මෙබඳු ධර්මය නොවේ, මෙබඳු ධර්මය වන්නේය'යි (විවාද කරති).
3. “මහණෙනි, අන්තොටු පිරිවැජියෝ අන්ධයහ. (මෙලෝ) වැඩ නො දනිත්, අනර්ථය නො දනිත්, ධර්මය නොදනිත්. අධර්ම නොදනිත්, ඔව්හු අර්ථය නො දන්නාහු ධර්මය නොදන්නාහු අධර්මය නො දන්නාහු හටගත් ඩබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විරුද්ධ වාදයට පැමිණියාහු එකිනෙකා මුව සැතින් විදින්නාහු හැසිරෙත්. ‘මෙබඳු වූයේ ධර්මය වන්නේය, මෙබඳු වූයේ ධර්මය නොවන්නේය. මෙබඳුවූයේ ධර්මය නොවන්නේය, මෙබඳු වූයේ ධර්මය වන්නේයයි’ (කියායි).
4. “මහණෙනි, යටගිය දවස මෙම සැවැත් නුවර නාම ගොත්රයෙන් අප්රකටවූ එක් රජෙක් වීය. මහණෙනි, ඉක්බිති ඒ රජතෙම නාමගොත්රයෙන් අප්රසිද්ධ එක් පුරුෂයෙකු කැඳවීය. ‘එම්බල පුරුෂය, තෝ මෙහි එව, සැවැත් නුවර යම් පමණ ජාත්යන්ධයෝ වෙද්ද, ඒ සැවෝම එක් තැනෙක්හි රැස්කරව”යි (කීය.) මහණෙනි, ඒ පුරුෂ තෙම “එසේය දෙවයන් වහන්සැයි” කියා ඒ රජහට ප්රති උත්තරදී සැවැත් නුවර යම් පමණ ජාත්යන්ධයෝ වෙද්ද, ඒ සියල්ලන්ගෙන ඒ රජතෙම යම් තැනෙක (වෙසේ ද) එතැනට පැමිණියේය. පැමිණ ඒ රජහුට මේ පුවත කීයේය:- “දේවයන් වහන්ස, සැවැත් නුවර යම් පමණ ජාත්යාන්ධයෝ වෙද්ද, ඔව්හු (මා විසින් රැස් කරවන ලද්දාහුමය”). “එසේවීනම් කොළ ජාත්යන්ධයන්ට ඇතෙකු දක්වාලව’යි කීයේය. මහණෙනි, ‘එසේය දෙවයන් වහන්සැ’යි ඒ පුරුෂතෙම ඒ රජහට පිළිතුරුදී ජාත්යන්ධයනට ඇතෙකු දැක්වීය. ‘ජාත්යන්ධයෙනි, ඇතා මෙබඳුය’යි: