5. 6.
සොණ සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම්වූ අනාථපිණ්ඩිකාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිර තෙම අවන්තීරට කුරරඝර නම් නුවරෙහි ප්රපාත නම් පර්වතයෙහි වැඩ වෙසෙයි. එසමයෙහි වනාහි කුටිකණ්ණයයි ප්රසිද්ධවූ සොණ උපාසකතෙම ආයුෂ්මත් මහා කච්චායන තෙරණුවන්ට උවටැන් කරන්නේවෙයි. ඉක්බිති විවේකයට පැමිණ සිත එකඟකළාවූ (කෙළක්වටිනා) කන් පළඳනාවක් දරන්නාවූ සොණ උපාසකයාගේ සිතට මෙබඳු කල්පනාවෙක් උපන: “යම් යම් අයුරකින් මහාකච්චායන ස්වාමීන් වහන්සේ දහම් දෙසනසේක්ද, මේ ධර්මය ගිහිගෙයි වසන්නාහු විසින් ඒකාන්තයෙන් සම්පූර්ණකොට එතැනින් පිරිසිදුකොට ලියූ සකක් හෝ පිරිසිදු සකක් වැනිකොට බ්රහ්මචර්යයෙහි හැසිරෙන්නට පහසු නොවෙයි. මම කෙස් රවුල් බාවා කසට පෙවූ වස්ත්ර හැඳපොරොවා ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා මැනව”යි.
2. ඉක්බිති කුටිකණ්ණයයි ප්රසිද්ධ සොණ උපාසක තෙමේ ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරතෙම යම් තැනෙක වෙසේද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ට වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවූම කුටිකණ්ණනම්වූ සොණ උපාසකතෙම ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන් වහන්සේට මේ පුවත දැන්වීය: “වහන්ස, මෙහි රහසිගතව සිත එකඟකළාවූ මාගේ සිතට මෙබඳු කල්පනාවෙක් පහළවීය: ‘යම් යම් ආකාරයකින් ස්වාමීවූ මහාකච්චායනයන් වහන්සේ ධර්මදේශනය කෙරෙද්ද, මේ ධර්මය ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් සම්පූර්ණ කොට එකාන්තයෙන් පිරිසිදුකොට ලියනලද්දාවූ හෝ ශුද්ධ කරනලද්දාවූ සකක්සේ බඹසර හැසිරෙන්නට පහසු නොවන්නේය. මම කෙස් රවුල් බාවා, කසාවක් හැඳ පොරොවා ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවන්නෙම් නම් ඉතා යෙහෙකැයි’ ස්වාමීනි, ආර්ය මහාකච්චායනයන් වහන්සේ මා පැවිදි කරනසේක්වා”යි.
3. මෙසේ කීකල්හි ආයුෂ්මත් මහාකච්චායන තෙර කුටිකණ්ණ නම් සොණ උපාසකයාට මෙය කීයේය: “සොණයෙනි; දුෂ්කර වූ දෙයක් නම් දිවිහිම්කොට එකවේලේ අනුභව කරන බතද හුදකලාව සයනයකිරීමද මෛථුන විරතියද වූ බ්රහ්මචර්යයයි. එබැවින් සොණය, තෝ ඒ ගිහිගෙහිම ගිහිවූයේම බුදුරදුන්ගේ අනුශාසනයවු කාලයට යෝග්යවූ එක බතෙහිද මෙවුන්දමින් වැළැක්මෙහිද බ්රහ්මචර්යයෙහි යෙදෙව”යි. ඉක්බිති කුටිකණ්ණයයි ප්රකටවූ සොණ උපාසකයාගේ පැවිදිවීමට යම් උත්සාහයෙක්වීද, ඒ උත්සාහය සන්සිඳිණ.
4. දෙවනුවද රහස්ගතවූ සිත එකඟ කළාවූ කුටිකණ්ණයයි දක්නාලද සෝණ උපාසකයාගේ සිතට මෙබඳු කල්පනාවෙක් පහළවීය: “යම් යම් අයුරකින් මහාකච්චායන ස්වාමීන් වහන්සේ දහම් දෙසනසේක්ද, මේ ධර්මය ගිහිගෙයි වසන්නාහු විසින් ඒකාන්තයෙන් සම්පූර්ණකොට එතැනින් පිරිසිදුකොට ලියූ සකක් හෝ පිරිසිදු සකක් වැනිකොට බ්රහ්මචර්යයෙහි හැසිරෙන්නට පහසු නොවෙයි. මම කෙස් රවුල් බාවා කසට පෙවූ වස්ත්ර හැඳපොරොවා ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා මැනව”යි. දෙවනුවත් කුටිකණ්ණයයි හඳුනලද සෝණ උපාසක තෙමේ ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරතෙම යම් තැනෙක වෙසේද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ට වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවූම කුටිකණ්ණනම්වූ සොණ උපාසකතෙම ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන් වහන්සේට මේ පුවත දැන්වීය: “වහන්ස, මෙහි රහසිගතව සිත එකඟකළාවූ මාගේ සිතට මෙබඳු කල්පනාවෙක් පහළවීය: ‘යම් යම් ආකාරයකින් ස්වාමීවූ මහාකච්චායනයන් වහන්සේ ධර්මදේශනය කෙරෙද්ද... මා පැවිදි කරනසේක්වා”යි.