5. 7.
රේවත සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් කංඛාරෙවත ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහි එරමිණියා ගොතා කය සෘජුකොට තබා තමාගේ සැක ඉක්මවීමේ සුද්ධිය සිහි කරමින් වැඩහුන්නේ වෙයි. භාග්යවතුන් වහන්සේ නොදුරෙහි එරමිණියා ගොතා කය සෘජුකොට පිහිටුවා තමාගේ සැක ඉක්මවීමේ සුද්ධිය සිහිකරමින් වැඩහුන් ආයුෂ්මත් කංඛාරෙවත තෙරුන් දුටුසේක්මය.
2. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ උදන් පහළ කළසේක:
“මේ ආත්මභාවයෙහි ‘මම වීම්දෝ හෝ නොවීම්දෝ හෝ’යි උපදනාවූ හෝ ස්වකීයාත්මභාවයෙහි පවත්නාවූ හෝ අන්යයන්ගේ ආත්මභාවයෙහි ලැබියයුතු බැවින් පවත්නාවූ හෝ යම්කිසි සැකයෝ වෙද්ද ධ්යාන කරන සුලුවූ කෙලෙස් තවන වීර්යය ඇත්තාවූ මාර්ගබ්රහ්මචර්යයෙහි හැසිරෙන්නාවූ පුද්ගලයෝ ඒ සියලු සැක පහ කෙරෙත්.”
5. 8.
ආනන්ද සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර වේළුවන නම්වූ කලන්දකනිවාපයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්ද තෙර එදවස් පැමිණි පොහොයෙහි පෙරවරු එක්වේලාවෙක්හි හැඳ පොරොවා පාත්ර සිවුරු ගෙන රජගහනුවරට පිඬු සිඟාගියේය. දෙව්දත්තෙමේ රජගහනුවර පිඬු පිණිස ඇවිදින්නාවූ ආයුෂ්මත් අනඳ තෙරුන් දුටුයේමය. දැක ආයුෂ්මත් අනඳ තෙර යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් අනඳ තෙරුන්ට මේ කරුණ දැන්වීය: “ඇවත, ආනන්ද ස්ථවිරයෙනි, මම දැන් අද පටන් භාග්යවතුන් වහන්සේගෙන් වෙන්වම භික්ෂුසංඝයා නෑරම පොහෝ කරන්නෙමි. සංඝකර්මද කරන්නෙමි”යි. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම රජගහනුවර පිඬු සිඟා වැඩ බතින් පසු කාලයෙහි පිඬු සෙවීමෙන් වැළකුනේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක වෙසෙද්ද, එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේට මේ පුවත දැනුම්දින: “ස්වාමීනි, මෙහි මම පෙරවරුයෙහි එක් වේලාවෙක හැඳ පොරොවා පාත්ර සිවුරු ගෙන රජගහනුවර පිඬු පිණිස පිවිසියෙමි. ස්වාමීනි, රජගහනුවර පිඬු සිඟා හැසිරෙන මා දෙව්දත් තෙම දිටීමය. දැක මම යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ මට මේ කරුණ කීයේය: ‘ඇවත ආනන්ද ස්ථවිරයෙනි, දැන් අදින් මත්තෙහි මම භාග්යවතුන් වහන්සේ හැරම භික්ෂු සංඝයා හැරම පෝය කරන්නෙමි. සංඝ කර්මද කරන්නෙමියි ස්වාමීනි අද දෙව්දත් තෙම සංඝ භෙදය කරන්නේය, පෝයද කරන්නේය, සංඝ කර්මද කරන්නේය’යි (කීය.)”
2. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ උදන් පහළ කළසේක.
“සත්පුරුෂයා විසින් යහපත සුවසේ කළ හැකිය. පවිටු පුද්ගලයා විසින් යහපත කළ නොහැකිය. පවිටා විසින් පව සුවසේ කළ හැකිය. ආර්යයන් විසින් පව් කළ නොහැකියයි.”
5. 9.
සද්ධායමාන සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක්හි භාග්යවතුන් වහන්සේ මහ බික්සඟන සමග කොසොල් රට චාරිකාවෙහි වඩනාසේක. එකල්හි වනාහි බොහෝ මානවකයෝ භාග්යවතුන් වහන්සේගේ නුදුරෙහි වෙසෙන්නවුන් මෙන් හැසිරෙන ස්වභාව ඇත්තාහු කවටකම් වචන කියන ස්වභාව ඇත්තාහු කුදු මහත් ශබ්ද කරන්නාහු ඉක්මවත්. භාග්යවතුන් වහන්සේ නුදුරෙහි කෙළිකවටකම් වචන කියන ස්වභාව ඇත්තාවූ බොහෝ තරුණ බමුණන් ඉක්මෙන්නවුන් දුටුසේක්මය.
2. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ උදන් පහළ කළසේක:
“යම්තාක් කට වසා ගැන්ම නොකමැති වෙද්ද, යම්හෙයකින් පමුණුවන ලද්දාහු ඒ කීමට කාරණය නොදනිද්ද, මූඪවූ පණ්ඩිත ප්රතිරූපකයෝ මතයම විෂයකොට ඇතිව කියන්නාහුය, නොහොත් සිහිඑළවා නොකියන්නාහුයයි”
5. 10.
පන්ථක සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් චුල්ලපන්ථක ස්ථවිර තෙමේ භාග්යවතුන් වහන්සේට නුදුරුතන්හි අරමිණියා අවුළුවා කය සෘජුකොට පිහිටුවා අරමුණට අභිමුඛකොට සිහිය එළවා වැඩහුන්නේ වෙයි. භාග්යවතුන් වහන්සේ සමීපයෙහි අරමිණියා බැඳ කය කෙළින් සිටුවා අරමුණට අභිමුඛකොට සිහිය එළවා වැඩහුන් ආයුෂ්මත් චුල්ලපන්ථක තෙරණුවන් දුටුසේක්මය.
2. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ උදන් පහළ කළසේක:
“මහණතෙම මනාව පිහිටුවන ලද කයින් යුක්තව මනාව පිහිටි සිහියෙන් යුක්තව සිටින්නේ හෝ හුන්නේ හෝ යළි හෝනේ හෝ සිත මැනවින් පිහිටුවන්නේ නම්, ඒ මහණතෙම පූර්වාපරභාගයෙන් පැවති විශේෂය ලබන්නේය. හෙතෙම පුබ්බාපරීය විශේෂය ලැබ මෘත්යුරාජයයි කියන ලද මරණයට නොපෙනී යන්නේය.”
සොණවග්ගො පඤ්චමො.
තස්සුද්දාන:
රාජ, අප්පායුක, කුට්ඨී, කුමාරක, උපොසථ, සොණ, රෙවත, නන්ද, සද්ධායමාන සහ පන්ථක යන මේවායි.